කාවන්තිස්ස ඇතාගේ මරණය සහ මෙරට වන අලින්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස පරිසර අමාත්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, වන අලි ඝාතන පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් ක්රියාත්මක වන්නේද යන්න සොයා බලන ලෙස පරිසර අමාත්යාංශයේ ලේකම්වරයා විසින් අද (18) පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළු වන අලි ඝාතන සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් විමර්ශනයක් පවත්වා, ඊට සම්බන්ධ වගකිවයුත්තන් හඳුනාගෙන නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස එම ඉල්ලීමෙන් අවධාරණය කර තිබේ. එමෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කර, ඒවායේ ප්රගතිය සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්යාංශය දැනුවත් කරන ලෙසද ඉල්ලා ඇත.
වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ ක්රම මගින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට සහ වනජීවී සංරක්ෂණයට තර්ජනයක් බව පරිසර අමාත්යාංශය පෙන්වා දෙයි. මේ අතර, වන අලි සහ අනෙකුත් වන සතුන්ට සිදුකරන හිරිහැර හා ඝාතන වැළැක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රධානත්වයෙන් ත්රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුම් හා වැටලීම් සිදුකරමින් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද අමාත්යාංශය සඳහන් කරයි.














