“වස විසෙන් තොර පලතුරු දරුවන්ට” ජාතික වැඩපිළිවෙළේ තවත් අදියරක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 16 වැනිදා අනුරාධපුරයේදී ක්රියාත්මක කෙරිණි. ලෝක ආහාර දිනයට සමගාමීව පැවැති මෙම වැඩසටහනේදී පලතුරු සෞඛ්යාරක්ෂිතව ඉදවීම පිළිබඳ දැනුවත් කිරීම සහ පලතුරු වෙළෙඳුන්ගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත පද්ධතිය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කෙරිණි.
පාරිභෝගිකයන්ට, විශේෂයෙන් දරුවන්ට, සෞඛ්යාරක්ෂිත පලතුරු ලබාදීම සහ විද්යාත්මකව පිළිගත් අනුමත ක්රමවේද භාවිතයට වෙළෙඳුන්, නිෂ්පාදකයන් හා ගොවීන් යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි. ඒ යටතේ පලතුරු ඉදවීම පිළිබඳ තාක්ෂණික දැනුම, අනුමත ක්රමවේද හා රසායනික ද්රව්ය නිවැරදිව භාවිත කිරීමේ පුහුණුව මෙන්ම අවශ්ය මූල්ය සහාය ලබාදීමටද සැලසුම් කර තිබේ.
2026 ඔක්තෝබර් 1 වැනිදා ප්රකාශයට පත් කළ මෙම වැඩපිළිවෙළ යටතේ, 2027 අප්රේල් මාසයේ සිට සෞඛ්යාරක්ෂිත නොවන සහ අනුමත ක්රමවේදවලට පටහැනිව පලතුරු කෘත්රිමව ඉදවන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව ක්රියාත්මක මෙම වැඩපිළිවෙළ මඟින් පලතුරු වගාවේ සිට පාරිභෝගිකයා අතට පත්වීම දක්වා සෑම අදියරකදීම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.














