දකුණු අමෙරිකාවේ ඊක්වඩෝර් රාජ්යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ගුයාකිල් නගරයේ ‘පර්පෙටුවෝ සොකොරෝ’ දේවස්ථානයේ පැවැති දේව මෙහෙය මෙහෙයවමින් සිටි පැට්රිසියෝ සංචේස් නමැති පූජකවරයා මෙලෙස අනතුරට ලක්ව තිබේ. පූජාසනය පිටුපස බිත්තියේ සවිකර තිබූ විශාල ලී කුරුසයක් හදිසියේ ගැලවී ඔහුගේ හිස මතට කඩා වැටී ඇති අතර, අදාළ දේව මෙහෙය සමාජ මාධ්ය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති බැවින් අනතුර සිදුවූ ආකාරය කැමරාවල ද පටිගත වී ඇත. පූජකවරයාගේ අභාවය සම්බන්ධයෙන් ගුයාකිල් අගරදගුරු පදවිය නිල වශයෙන් ශෝකය පළ කර ඇති අතර, කුරුසය ගැලවී වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














