ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පාලනය වන හාරිස්පත්තුව පූජාපිටිය ජල පිරිපහදු මධ්යස්ථානයේ හදිසියේ ආරම්භ කරන ලද අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අද (21) පෙ.ව. 09.00 සිට ලබන 23 වන සිකුරාදා ප.ව. 3.00 දක්වා අඛණ්ඩව පැය 42ක කාලසීමාවක් පුරා මෙම ජල සැපයුම අත්හිටුවීම ක්රියාත්මක වන බව නිල වශයෙන් නිවේදනය කෙරේ.
මෙම තීරණයත් සමඟ මැදවෙල (පැරණි හා නව), ගල්ලෙනවත්ත, ගලගෙදර සහ මාවතගම යන සේවා කලාපයන්ට අයත් ග්රාමීය හා නාගරික ප්රදේශ රැසක ජනජීවිතයට සෘජු බලපෑම් එල්ල වී ඇත. පවතින විදුලි අර්බුදය හමුවේ ජල සැපයුමද දීර්ඝ වේලාවක් අත්හිටුවීම හේතුවෙන් දෛනික ගෘහස්ථ කටයුතු, ව්යාපාරික ස්ථාන මෙන්ම පොදු සේවාවන් පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.
දීර්ඝ කාලීන ජල අත්හිටුවීම හේතුවෙන් මහජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවලට කණගාටුව පළකරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මෙම කාලසීමාව තුළ රැස්කරගන්නා ජලය උපරිම අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. අදාළ නඩත්තු කටයුතු සැලසුම් කළ පරිදි අවසන් කර සිකුරාදා සවස වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.
















