ශ්රී ලංකා එක්ස්පෝ 2027 ප්රදර්ශනය සඳහා බ්රිතාන්ය ව්යාපාරිකයන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ ප්රවර්ධන වැඩසටහනක් ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල ලන්ඩන් නුවරදී පැවැත්වේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. ඒ යටතේ ව්යාපාරික හා ආයෝජන සංසදයක්, බ්රිතාන්ය ගැනුම්කරුවන් සහ ආයෝජකයන් සමඟ සබඳතා ගොඩනැගීමේ සැසියක් මෙන්ම ද්විපාර්ශ්වික ව්යාපාරික සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලංකා රජයේ නිල දූත පිරිසක් මේ සඳහා සහභාගී වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ. එම දූත පිරිසට අදාළ අමාත්යාංශයේ ලේකම්වරයා, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ ප්රධාන විධායක නිලධාරීවරයා මෙන්ම ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්යක්ෂවරිය ද ඇතුළත්ය.
ශ්රී ලාංකීය නිෂ්පාදන හා සේවා ප්රවර්ධනය කිරීම, නව අපනයන අවස්ථා හඳුනා ගැනීම සහ බ්රිතාන්ය සමාගම්වලට ශ්රී ලංකාව තුළ ආයෝජන හා ව්යාපාරික හවුල්කාරිත්වයන් සඳහා අවස්ථා විවෘත කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු අතර වේ. එමෙන්ම එක්සත් රාජධානියේ වරණීය වෙළෙඳපොළ ප්රවේශය වන UK DCTS යටතේ පවතින අවස්ථාවලින් උපරිම ප්රයෝජන ගැනීමට ද අපේක්ෂා කෙරේ.
“ශ්රී ලංකා එක්ස්පෝ 2027” ප්රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, මෙම ප්රවර්ධන වැඩසටහන හරහා ඒ සඳහා බ්රිතාන්ය ව්යාපාරිකයන්ගේ සහභාගීත්වය ඉහළ නංවා දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂාවයි.
















