අක්රිය වී ඇති නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ මෙගාවොට් 300ක එක් ජනන යන්ත්රයක් හෙට (22) පස්වරුව වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්ය කටයුතු සිදුකරමින් පවතින බව එහි විදුලි ඉංජිනේරුවෝ පවසති.
කෙසේ වෙතත්, අද (21) දිනයේත් පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක වනු ඇත.
බලශක්ති අමාත්යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු සඳහන් කර ඇත්තේ හෙට දිනයේ එක් ජනන යන්ත්රයක් පද්ධතියට එක් කිරීමට හැකි වුවහොත් විදුලි කප්පාදුවක් අවශ්ය නොවන බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම දැනුම් දී ඇති බවයි.
පසුගිය සෙනසුරාදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය වූ අතර, ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 810කි.
මෙම තත්ත්වය හමුවේ විදුලි පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා පස්වරු 4.30 සිට රාත්රී 8.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් දින තුනක් ක්රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබුණි.
මේ අතර, හෙටින් පසු විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. පවතින තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතය.













