නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා හල්දුම්මුල්ල, සොරගුනේ ප්රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිසියට එහි ඇඳක් යට සඟවා තිබූ නොබෙදූ ලිපි 2,078ක් සොයා ගැනීමට හැකිව තිබේ.
හල්දුම්මුල්ල හා සොරගුනේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි තැපැල්කරුවෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ඊයේ (20) පස්වරුවේ මෙම පරීක්ෂාව සිදුකර තිබේ. එහිදී සොයාගත් ලිපි අතර සාමාන්ය ලිපි 2,065ක් සහ ලියාපදිංචි ලිපි 13ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය සිදුකළ ප්රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ හල්දුම්මුල්ල, සොරගුනේ සහ හරන්කහව ප්රදේශවල ජනතාවට බෙදාහැරීම සඳහා තැපැල් කාර්යාලයෙන් භාරදුන් මෙම ලිපි වසර හයකට අධික කාලයක් තිස්සේ බෙදා නොහැර නිවසේ ඇඳ යට සඟවාගෙන සිටි බවයි.
සොයාගත් ලිපි අතර රාජ්ය ආයතනවලින් යොමු කළ වැදගත් ලිපි ලේඛන, අධිකරණ නිල ලේඛන හා නොතීසි, රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි සහ මහජනතාවට අදාළ නිවේදන ද තිබූ බව පොලිසිය පවසයි.
රාජකාරිය පැහැරහැර ලිපි බෙදා නොහැරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (21) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














