මොරටුව සොයිසාපුර ප්රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේගේ පාර්ශ්වයෙන් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කර තිබෙනවා.
ඊයේ (20) රාත්රී 8.00ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් අවන්හල් හිමිකරු ඉලක්ක කර වෙඩි තබා පලාගොස් තිබුණා. වෙඩි ප්රහාරවලින් බරපතළ තුවාල ලැබූ 43 හැවිරිදි ලසන්ත කුමාර නමැති ලක්ෂපතිය ප්රදේශයේ පදිංචිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් අවන්හලට පැමිණ සිටි කාන්තාවකගේ පාදයකටද තුවාල සිදුව ඇති බව සඳහන්.
මියගිය අවන්හල් හිමිකරු ඉලක්ක කර 2020 වසරේදීද වෙඩි ප්රහාරයක් එල්ල වී තිබූ අතර, එය කප්පම් සිද්ධියක් මුල්කරගෙන සිදුවූවක් බවට එවකට පොලිසිය සැක පළ කර තිබුණා. ඔහුගේ ජංගම දුරකථනයේ තිබී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු අංජුගේ ඡායාරූප කිහිපයක්ද හමුවී ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
වෙඩික්කරුවන් පලායමින් සිටි මෝටර් රථයේ ටයරයක දෝෂයක් ඇතිවීමෙන් පසු, පිළියන්දල සුවාරපොළ ප්රදේශයේදී එම රථය අතහැර දමා මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිකරුවෙකු බියගන්වා යතුරුපැදිය පැහැරගෙන පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පසුව ඉන්ධන අවසන් වීම හේතුවෙන් එම යතුරුපැදිය පිළියන්දල 255 මාර්ගයේ සිද්ධමුල්ල ප්රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබෙනවා. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ මහේස්ත්රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.













