ශ්රී ලංකාවේ රාජ්ය සෞඛ්ය පද්ධතිය තුළ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවිත කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද විශේෂ කළමනාකරණ මාර්ගෝපදේශ මාලාව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ (21) නිල වශයෙන් එළිදක්වන ලදී. ලෝක බලශක්ති දිනයට සමගාමීව හඳුන්වා දුන් මෙම පියවර මගින් රෝහල් සහ සෞඛ්ය ආයතනවල පවතින සම්පත් නාස්තිය අවම කරමින් මහජන මුදල් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන අතර, එමගින් රාජ්ය සෞඛ්ය ක්ෂේත්රයේ මුල්ය හා මෙහෙයුම් ස්ථාවරත්වයට සුවිශේෂී බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රෝහල්වල පවතින ශල්යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර සහ ඖෂධ ගබඩා කිරීමේ ශීත දාම පද්ධති වැනි අත්යවශ්ය පහසුකම් පවත්වාගෙන යාම සඳහා විශ්වාසදායක විදුලි හා ජල සැපයුමක් අනිවාර්ය වන පසුබිමක, මෙම පියවර ගෙන ඇත්තේ රෝගී සුරක්ෂිතතාවයට හෝ ආසාදන පාලන ක්රියාවලියට කිසිදු බාධාවක් නොවන පරිදිය. හුදෙක් පිරිවැය කැපීමේ තාවකාලික උපායමාර්ගයක් වෙනුවට, සෞඛ්ය සේවාවන්හි ගුණාත්මකභාවය පවත්වා ගනිමින් අනවශ්ය පරිභෝජනය නතර කිරීමේ විධිමත් පටිපාටියක් සෞඛ්ය අමාත්යාංශය මගින් ස්ථාපිත කිරීම මෙහි ඇති විශේෂත්වයයි.
ඉදිරියේදී මෙම මාර්ගෝපදේශ මාලාව දිවයින පුරා පිහිටි සියලුම රාජ්ය රෝහල් සහ සෞඛ්ය ආයතන තුළ ප්රායෝගිකව ක්රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර, පද්ධති නඩත්තුව මෙන්ම හඳුනාගන්නා අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීමටද විධිමත් යන්ත්රණයක් ක්රියාත්මක කෙරෙනු ඇත. සම්පත් ඉතිරි කිරීමේ නාමයෙන් රෝගී සත්කාරක සේවාවලට බාධා නොවන පරිදි වඩාත් කාර්යක්ෂම රාජ්ය සෞඛ්ය කළමනාකරණ සංස්කෘතියක් ගොඩනැගීමට මෙම නව වැඩපිළිවෙල හේතුවනු ඇතැයි බලධාරීහු විශ්වාස කරති.














