නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් නොමැතිකම, වැටුප් විශමතා සහ ක්රමවත් උසස්වීම් ක්රමවේදයක් නොමැති වීම ඇතුළු බරපතළ වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලබන නොවැම්බර් මස 09 වන දින දීප ව්යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය තීරණය කර තිබේ. රාජ්ය සේවයේ අත්යවශ්ය ක්ෂේත්ර රැසක සේවය කරන සංවර්ධන නිලධාරීන් දිගින් දිගම් මතු කළ ගැටලු සඳහා බලධාරීන්ගෙන් මෙතෙක් නිසි ප්රතිචාරයක් හෝ විසඳුමක් ලැබී නොමැති වීම හේතුවෙන් මෙම දැඩි තීර ගැනීමට සිදුව ඇති බව එම සංගමයේ ප්රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා පෙන්වා දෙයි. මැතිවරණ සමයේදී තමන්ට ලබාදුන් පොරොන්දු වත්මන් රජය විසින් මෙතෙක් ඉටු කර නොමැති බවට චෝදනා නංවන වෘත්තීය සමිති නායකයෝ, රාජ්ය සේවා යාන්ත්රණය තුළ පවතින මෙම පරිපාලනමය අක්රමිකතා හමුවේ රාජ්ය සේවකයන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව අවධාරණය කරති.
සංවර්ධන නිලධාරීන්ට නිශ්චිත සේවා ව්යුහයක් නොමැති වීම, පුහුණු කාලය වසරක් ලෙස පැවතීම සහ එය නිත්ය සේවයට එකතු නොකිරීම මෙන්ම ශ්රේණි අතර උසස්වීම් ලබාදීමේදී වසර දහයක කාල සීමාවක් තුළ අධි ශ්රේණියක් නොමැති වීම වැනි ව්යුහාත්මක ගැටලු හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිති. බලයට පත්වීමට පෙර තමන්ගේ ගැටලු එකවර විසඳන බවට ලබාදුන් පොරොන්දු බලයට පත්වීමෙන් පසු ක්රියාත්මක නොවීම රජයේ පරිපාලන ප්රතිපත්තිය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් මතු කර ඇති අතර, මෙවැනි වෘත්තීය ක්රියාමාර්ගයක් කරා ගමන් කිරීමට සිදුව ඇත්තේ වෙනත් විකල්පයක් නොමැති තැනදී බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. රාජ්ය සේවයේ බිම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා සෘජුව දායක වන මෙම විශාල නිලධාරී පිරිස වැඩවර්ජනයකට පිවිසීමෙන් සමස්ත ග්රාමීය සංවර්ධන හා පරිපාලන යාන්ත්රණයටම දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතී.
නොවැම්බර් 09 වන දිනට නියමිත මෙම දීප ව්යාප්ත වැඩවර්ජනය ක්රියාත්මක වීමට පෙර රජය හෝ අදාළ අමාත්යාංශ බලධාරීන් සමඟ සාධනීය සාකච්ඡාවකට එළැඹී ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත්, මෙම වෘත්තීය ක්රියාමාර්ගය තවදුරටත් තීව්ර කිරීමට සංවර්ධන නිලධාරීන් සූදානමින් පසුවේ. රාජ්ය සේවා වැටුප් විශමතා සහ සේවා ව්යුහ ගැටලු විසඳීම සඳහා පුළුල් ජාතික මට්ටමේ යාන්ත්රණයක් අවශ්ය වී ඇති වත්මන් පසුබිමක, මෙම අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට රජය අපොහොසත් වුවහොත් එය ඉදිරියේදී සෙසු රාජ්ය සේවා වෘත්තීය සමිති ද එකතු වන පුළුල් සමාජ-දේශපාලනික අරගලයක් බවට පත්වීමේ ඉඩකඩක් පවතී.
















