ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට කරුණාව දක්වමින් ආගමික කටයුතුවලට පමණක් සීමා නොවී අපරිමිත සේවයක් ඉටුකළ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සමස්ත ශ්රී ලාංකේය සමාජයටම පියවාගත නොහැකි පාඩුවක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන්ගේ අවමංගල්ය පූජෝත්සවයට ඔක්තෝබර් 21 වැනිදා සහභාගී වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. අවමංගල්ය පූජෝත්සවය මහනුවර ගැටඹේ ක්රීඩාංගණයේදී රාජ්ය ගෞරව සහිතව පැවැත්විණි.
දීර්ඝ කාලයක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ ශාසනික විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කළ අනුනාහිමියන්, රාමඤ්ඤ මහා නිකායේ අභ්යන්තර සමගිය ශක්තිමත් කිරීම සඳහා ද සුවිශේෂී නායකත්වයක් ලබාදුන් බව අග්රාමාත්යවරිය පැවසුවාය.
එමෙන්ම මෙරට පුරාවිද්යාත්මක වටිනාකම් සහිත ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ උන්වහන්සේ, සුනාමි ව්යසනයේදී සහ කොරෝනා වසංගත සමයේදී ජනාධිපති අරමුදලට මූල්ය ආධාර ලබාදෙමින් ජනතාවට සහන සැලසීමට ද දායක වී තිබේ.
ජාතික හා ආගමික අර්බුද හමුවේ සමාජයේ යහපත වෙනුවෙන් නිවැරදි මඟපෙන්වීම් ලබාදුන් උන්වහන්සේගේ පරාර්ථකාමී ගමන් මඟ අනුගමනය කරන ලෙස තරුණ භික්ෂූන් වහන්සේලාගෙන් සහ දරු පරපුරෙන් ඉල්ලා සිටින බව ද අග්රාමාත්යවරිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
අවමංගල්ය පූජෝත්සවයට මහා සංඝරත්නය, මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු ආරාධිත අමුත්තන් සහ දායකකාරකාදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.














