සෞඛ්ය අමාත්යාංශය විසින් ස්ථානමාරු මණ්ඩලයේ නීත්යානුකූල පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් තොරව සහ පවතින සම්ප්රදායික ක්රමවේදයන් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සකස් කරන ලද පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලැයිස්තුව සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ක්රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබේ. අදාළ පෙත්සම් පිළිබඳ අවසන් තීන්දුව ප්රකාශයට පත්කරන තෙක් බලපැවැත්වෙන පරිදි මෙම නියෝග ලබා දී ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි. පාලන අධිකාරියේ අත්තනෝමතික ක්රියාකලාපය හමුවේ සෞඛ්ය ක්ෂේත්රය තුළ යළිත් බරපතළ පරිපාලනමය අර්බුදයක් නිර්මාණය වී ඇති බව මෙම අධිකරණ තීන්දුවත් සමඟ පැහැදිලි වේ.
අගතියට පත් වෛද්යවරුන් දෙදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ස්ථානමාරු මණ්ඩලයේ නිත්යානුකූල පාර්ශ්වයක් ලෙස රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ද මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇත. 2025 ජූලි මාසයේදී සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්ය කණ්ඩායම වෙනුවෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් අත්තනෝමතික ලෙස ප්රකාශයට පත් කළ මෙම ලැයිස්තුව හේතුවෙන් සමස්ත වෛද්යවරුන්ගේ ස්ථානමාරු ක්රියාවලියම අවුල් ජාලයක් බවට පත්වූ බව සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම පර්යන්ත හා දුෂ්කර ප්රදේශවල පිහිටි රෝහල් පද්ධතියේ සෞඛ්ය සේවාවන් ගුණාත්මකව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට සෘජුවම බලපාන මෙවැනි සංවේදී තීරණ, විධිමත් එකඟතාවයකින් තොරව ගැනීමට යාමෙන් මෙරට වෛද්ය ප්රජාව දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව සඳහන් වේ.
අධිකරණය හමුවේ මෙම ප්රශ්නගත ලැයිස්තුවල නීත්යානුකූලභාවය අභියෝගයට ලක්ව ඇති පසුබිමක, පවතින නීතිමය ක්රියාවලියට යටත්ව නැගී ඇති ගැටලුකාරී තත්ත්වය කඩිනමින් නිවැරදි කිරීමට සෞඛ්ය බලධාරීන්ට සිදුවනු ඇත. වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම සමස්ත රෝහල් පද්ධතියේ පැවැත්ම සුරැකෙන පරිදි අසාධාරණයට ලක්වූ වෛද්යවරුන්ට සාධාරණය ඉටු කිරීමට අවශ්ය මැදිහත්වීම සක්රීයව සිදුකරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ඒ අනුව, ඉදිරියේදී සෞඛ්ය අමාත්යාංශය විසින් නීත්යානුකූල ස්ථානමාරු මණ්ඩලයේ අනුමැතිය සහිතව නව ක්රමවේදයකට යොමුවන්නේද යන්න පිළිබඳව සමස්ත සෞඛ්ය ක්ෂේත්රයේම දැඩි අවධානය යොමුව තිබේ.
















