මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමෙන් නිලධාරීන් සහ රැඳවියන් මියයාමේ සිද්ධියට අදාළ සාක්ෂි විභාගයෙන් අනතුරුව, අපරාධයක් සිදුව ඇති බව නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගමුව මහෙස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
හිසට සහ පපුවට කළ වෙඩි තැබීම් මෙන්ම මොට ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව පෙන්වා දුන් මහෙස්ත්රාත්වරිය, සිද්ධියට අදාළව නම් කර සිටින සැකකරුවන් 106 දෙනා ලබන ඔක්තෝබර් 29 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොදු දේපළ පනත, ගිනි අවි ආඥා පනත සහ මිනීමැරීමේ චෝදනා යටතේ විමර්ශන මෙහෙයවන අතර නඩුව ඔක්තෝබර් 29 වනදා යළි කැඳවීමට නියමිතය.













