මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ සුවිශේෂීම සාගර පරිසර පද්ධති අතරින් එකක් වන පර්සියානු බොක්කේ පරිසරයට දැඩි හානි සිදුවීමේ අවදානමක් මතුව ඇති බව සී.එන්.එන්. (CNN) පුවත් සේවය වාර්තා කරයි. අමෙරිකානු, ඊශ්රායල සහ ඉරාන ප්රහාර හමුවේ තෙල් පහසුකම්වලට සිදුව ඇති හානි සහ හටගත් ගිනි ගැනීම් හේතුවෙන් ටෙහෙරාන් නගරය ඝන කළු දුමාරයකින් වැසී ගොස් ඇති අතර, වායුගෝලයට බැර ලෝහ සහ හානිකර රසායනික ද්රව්ය මුදාහැරීම නිසා මිලියන සංඛ්යාත ජනතාවක් දූෂණයට නිරාවරණය වීමෙන් දිගුකාලීන සෞඛ්ය බලපෑම් ඇතිවිය හැකි බවට අවධානය යොමුව තිබේ.
යුද ගැටුම් නිසා පර්සියානු බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශවල නෞකා සහ තෙල් යටිතල පහසුකම්වලට එල්ල වූ ප්රහාර සමඟ තෙල් කාන්දුවීම් වාර්තා වී ඇති අතර, ඇතැම් කාන්දුවීම් අභ්යවකාශයේ සිට පවා නිරීක්ෂණය කළ හැකි මට්ටමක පවතී. තෙල් ප්රවාහන නෞකාවකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයේ උම් අල් කුවේන් (Umm Al Quwain) වෙරළ තීර කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති අතර, අදාළ බලපෑම් පාලනය කිරීමට එරට දේශගුණික විපර්යාස හා පරිසර අමාත්යාංශය කටයුතු කරමින් සිටියි. යුද ගැටුම් තවදුරටත් පැවතුණහොත් මෙම තත්ත්වය වඩාත් පුළුල් පරිසර දූෂණ අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බවට පරිසර විශේෂඥයෝ දැඩි ලෙස අනතුරු අඟවති.













