විදේශගත ශ්රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව, දැනටමත් මෙරට නිකුත් කළ රියදුරු බලපත්රයක් හිමි විදෙස්ගත ශ්රී ලාංකිකයෙකුට යළි මෙරටට පැමිණෙන අවස්ථාවකදී කිසිදු බාධාවකින් තොරව එම බලපත්රය භාවිත කරමින් නීත්යානුකූලව වාහන ධාවනය කළ හැකි බව අමාත්යවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව, විදේශගතව සිටින සමයේ අදාළ රටේ රියදුරු බලපත්රයක් ලබාගැනීම සඳහා මෙරට බලපත්රය එරටට භාරදී ඇත්නම්, යළි දිවයිනට පැමිණීමෙන් පසු අදාළ ලේඛන ඉදිරිපත් කර සාමාන්ය ක්රමවේදය යටතේ මෙරට රියදුරු බලපත්රය යළි ලබාගැනීමට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
යම් හෙයකින් විදෙස්ගත ශ්රී ලාංකිකයෙකුගේ මෙරට රියදුරු බලපත්රය නැතිවී ගොස් ඇත්නම්, සාමාන්ය පරිදි පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්රයක් සකස් කරගැනීමේ අවස්ථාව පවතින බවත්, ෆින්ලන්තය, කුවේට් හෝ වෙනත් ඕනෑම රටක සිටින ශ්රී ලාංකිකයෙකුට අනවශ්ය ලෙස අමතර මුදල් වියදම් කිරීමකින් තොරව තම නීත්යානුකූල පුරවැසි අයිතිය යටතේ රියදුරු බලපත්ර පහසුකම් ලබාගත හැකි බවත් අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.












