ඉන්දියාවේ IIT Madras Pravartak Technologies Foundation ආයතනය සහ ශ්රී ලංකාවේ ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC) ආයතනය අතර තාක්ෂණය, නවෝත්පාදන, කෘත්රිම බුද්ධිය (AI) සහ පර්යේෂණ ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කරගැනීම සඳහා විශේෂ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබේ. ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 22 වන දින මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන ආකාරයට ජාත්යන්තර පර්යේෂණ සහ තාක්ෂණික විශේෂඥ දැනුම ශ්රී ලංකීය කර්මාන්ත සහ විශ්වවිද්යාල සමඟ සම්බන්ධ කිරීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි.
නවෝත්පාදන සහ ආරම්භක ව්යාපාර (Startups) බිහිකිරීම, ව්යවහාරික පර්යේෂණ සහ විශ්වවිද්යාල ලැබොරටරි, කෘත්රිම බුද්ධිය (AI) සහ මානව කේන්ද්රීය විසඳුම්, කර්මාන්ත කුසලතා සහ දක්ෂතා සංවර්ධනය, සහ ජාත්යන්තර දැනුම හුවමාරු කරගැනීම යන ප්රධාන අංශ පහක් කෙරෙහි මෙම සහයෝගීතාව යටතේ විශේෂ අවධානය යොමු කෙරේ.
IIT Madras Pravartak Technologies Foundation හි ප්රධාන විධායක නිලධාරී ආචාර්ය එම්. ජේ. ශංකර් රාමන් සහ ඩයලොග් ආසියාටා පීඑල්සී ආයතනයේ සමූහ ප්රධාන විධායක සහ විධායක අධ්යක්ෂ සුපුන් වීරසිංහ යන මහත්වරුන් විසින් අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. මෙම අවස්ථාවට එක් වූ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඩයලොග් ආයතනයේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ තාක්ෂණය, වෙළඳාම, සැපයුම් දාම සහ විශ්වාසනීය හවුල්කාරිත්වයන් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති අතර, මෙමඟින් ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර තාක්ෂණික මෙන්ම පර්යේෂණ හා සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.













