අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්රවේශ මාර්ග ප්රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්ය පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්රියාත්මක කිරීමට අදාළ අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ එම ප්රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ඓතිහාසික පොකුණු තුන ආශ්රිත ප්රදේශයේ මාර්ග සංවර්ධනය, බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්යාත්මක කැණීම් සහ රුවන්වැලි සෑය ආසන්නයේ අක්කර අට ප්රදේශයේ රථගාල ඉදිකිරීමට යෝජිත භූමිය ඇතුළු සංවර්ධන කටයුතුවලට අදාළ භූමි හා සැලසුම් ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී. අනතුරුව, අදාළ නිලධාරීන් සමඟ කෙටි සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා, එහිදී මතුව ඇති ගැටලු සඳහා සියලු පාර්ශ්වයන් එක්ව සාකච්ඡා කර විසඳා ගනිමින් ව්යාපෘතියේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්යතාව දැඩි ලෙස අවධාරණය කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර ඓතිහාසික රුවන්වැලි චෛත්යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ජනාධිපතිවරයා, වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි මහා සෑ චෛත්යාරාමාධිපති අතිපූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබා ගැනීමටද කටයුතු කළේය.













