රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ ඔලෙෂ්කි නගරය සම්බන්ධයෙන් තාවකාලික සටන් විරාමයකට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබේ. Reuters වාර්තාවට අනුව, ඔක්තෝබර් 27 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිත මෙම එකඟතාවේ අරමුණ මානුෂීය ආධාර ලබාදීම සහ ආරක්ෂිත මාර්ග ඔස්සේ සිවිල් වැසියන් ඉවත් කිරීමයි.
ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්රම්ප්ගේ මැදිහත්වීමෙන් මෙම එකඟතාව ඇති වූ බව ධවල මන්දිරය සඳහන් කර ඇත. නගරයේ ආහාර, ඖෂධ සහ පිරිසිදු ජලය හිඟය උග්ර වී ඇති බව ද වාර්තා වේ. යුද්ධයට පෙර 24,000ක් පමණ සිටි ජනගහනයෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ 1,700ත් 2,000ත් අතර පිරිසක් බව ඇමරිකානු බලධාරීන් පවසයි.
මේ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්රකාශ කර ඇත්තේ යුක්රේනය, රුසියාව සහ ඇමරිකාව අතර තාක්ෂණික මට්ටමේ සාම සාකච්ඡා නොවැම්බර් මාසයේ මුල් භාගයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. එම සාකච්ඡා අබුඩාබිහිදී හෝ ස්විට්සර්ලන්තයේදී පැවැත්විය හැකි බව ඇමරිකානු නිලධාරියෙකු ද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ප්රධාන මතභේද තවමත් පවතී. රුසියාව ඩොන්බාස් කලාපයේ සම්පූර්ණ පාලනය ඉල්ලා සිටින අතර, දැනට යුක්රේනය සතුව පවතින භූමි ප්රදේශ අත්හැරීම කියෙව් පාලනය ප්රතික්ෂේප කරයි. එබැවින් නව සාකච්ඡා මඟින් පුළුල් සාම එකඟතාවකට පැමිණිය හැකිද යන්න තවමත් අවිනිශ්චිතය.
















