යුක්රේනයේ සහ මැදපෙරදිග කලාපයේ Starlink චන්ද්රිකා අන්තර්ජාල සේවාව සක්රිය කිරීම හෝ අක්රිය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු පරිපාලන දෙකක්ම SpaceX සමාගමෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
හිටපු ජ්යෙෂ්ඨ ඇමෙරිකානු නිලධාරීන් හයදෙනකුගෙන් ලද තොරතුරු අනුව, ජෝ බයිඩන් පරිපාලනය යේමනයේ හූති කණ්ඩායමට සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ පාර්ශ්ව Starlink භාවිත කිරීම වැළැක්වීම සඳහා සේවාව අක්රිය කිරීමට ඉල්ලීම් කර තිබේ. එමෙන්ම යුක්රේනයේ හමුදා සන්නිවේදනයට සහ ඉරානයේ අන්තර්ජාල ප්රවේශය පුළුල් කිරීමට සේවාව සක්රිය කිරීම සම්බන්ධයෙන් ද ඉල්ලීම් කර තිබූ බව මූලාශ්ර පවසයි.
ඩොනල්ඩ් ට්රම්ප් පරිපාලනය ද 2025 සහ 2026 වසරවල ඇමෙරිකානු-ඊශ්රායල ප්රහාරවලින් පසුව ඉරානය තුළ Starlink සේවාව සක්රිය කිරීම පිළිබඳව එලොන් මස්ක් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තාවේ සඳහන් වේ. එහි අරමුණ වූයේ ඉරානයේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට අන්තර්ජාල ප්රවේශය සහ සන්නිවේදන පහසුකම් ලබාදීම බව මූලාශ්ර පවසයි.
යුක්රේන හමුදාව Starlink සේවාව මත රඳා පැවතීම සහ මෑතකදී එහි භාවිතයට පනවා ඇති සීමා පිළිබඳ මතභේදය හමුවේ, ඇමෙරිකානු ආරක්ෂක හා විදේශ ප්රතිපත්ති තීරණවලට SpaceX සහ එහි ප්රධාන විධායක එලොන් මස්ක්ගේ බලපෑම පිළිබඳ ප්රශ්න මතුව තිබේ. කෙසේ වෙතත්, පෙර ඉල්ලීම් පිළිබඳ තොරතුරු නිර්නාමික මූලාශ්ර මත පදනම් වන බව Reuters වාර්තාව සඳහන් කරයි.
















