ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්දියානු නිෂ්පාදිත S11 වර්ගයේ දුම්රිය එන්ජින් තුනක් පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මෙම ව්යාපෘතිය යටතේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා විසින් ඊයේ (23) මාලිගාවත්ත දුම්රිය අංගනයේදී නිරීක්ෂණය කර ඇත.
එක් දුම්රිය එන්ජිමක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 25ක් පමණ වැය වන අතර, එන්ජින් තුන සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 75කි.
මෙම අලුත්වැඩියාවේ විශේෂත්වයක් වන්නේ එන්ජින්වල පැරණි ෆයිබර් මුහුණත වෙනුවට මල නොබැඳෙන වානේ මුහුණතක් නිර්මාණය කර සවි කිරීමයි.
මාලිගාවත්ත ප්රධාන දුම්රිය අංගනයේදී ක්රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ බර වෑද්දුම් අංශයේ තාක්ෂණික දායකත්වය ලබා ගැනේ. එමගින් රත්මලාන ප්රධාන දුම්රිය කර්මාන්තශාලාවේ නඩත්තු කටයුතුවල පවතින වැඩබර අඩු කර එහි සේවා ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් පසු අදාළ දුම්රිය එන්ජිමක් 2027 ජනවාරි මාසයේදී යළි ධාවනයට එක් කිරීමට නියමිතය.














