ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඓතිහාසික කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි, පසුගිය 23 වැනිදා රාත්රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබී ඇත. ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව සඳහන් වේ.
දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, පසුදා අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය පවසා තිබේ. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත.
බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් විසින් අර්ධකාලීන පාලන මධ්යස්ථානයක් ලෙස භාවිත කර තිබේ. 1941දී සෝවියට් සංගමය ආක්රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් හමුදා ප්රධානීන් සමඟ සාකච්ඡා කළ ස්ථානයක් ලෙසද එය සැලකේ.
නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවද විනාශ නොවී පැවති අතර, පසුව සංචාරක ආකර්ෂණයක් බවට පත්විය. වර්තමානයේ එහි කඳුකර තානායමක්ද පවත්වාගෙන යනු ලබයි.
ගින්නට සැකකරුගේ සම්බන්ධයක් තිබේද යන්න සොයා බැලීම සඳහා අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.














