දකුණු-දකුණු සහයෝගීතාව සක්රීයව ශක්තිමත් කරමින් හවුල්කාරිත්වය, නවෝත්පාදනය සහ බෙදාගත් සමෘද්ධිය වෙනුවෙන් ශ්රී ලංකාව සහ අප්රිකානු සංගමය අතර නව මාවතක් තහවුරු කෙරෙන විශේෂ සාකච්ඡාවක් ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරදී පවත්වා තිබේ. අප්රිකානු සංගමයේ ශ්රී ලංකා තානාපතිනි නිර්මලා පරණවිතාන මහත්මිය විසින් අප්රිකානු සංගම් කොමිසමේ සභාපති මහමුද් අලි යූසුෆ් මහතා වෙත සිය අක්තපත්ර ප්රදානය කළ අවස්ථාවේදී මෙම විශේෂ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මඟින් දෙපාර්ශ්වය අතර පවතින රාජ්යතාන්ත්රික සහ ආර්ථික සබඳතා නව පරිමාණයකට ගෙන යාමට මඟපෑදෙනු ඇත.
කෘෂිකර්මාන්තය, ඩිජිටල්කරණය, වෘත්තීය අධ්යාපනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම නිල් ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්ය සේවා ඇතුළු ක්ෂේත්ර ගණනාවක් ආවරණය වන පරිදි මෙම හවුල්කාරිත්ව රාමුව සකස් කර ඇති බව අඩිස් අබාබා හි ශ්රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි. මෙම යෝජනාව සාදරයෙන් පිළිගත් අප්රිකානු සංගම් කොමිසමේ සභාපතිවරයා ඒකාබද්ධ වැඩසටහන් සහ ආයතනික සහයෝගීතාවයන් ගවේෂණය කිරීමට කැමැත්ත පළ කර ඇති අතර, දකුණු ආසියානු සහ අප්රිකානු ආයතන අතර පවතින පර්යේෂණාත්මක හා නවෝත්පාදන හවුල්කාරිත්වය සපයන අවස්ථා ද මෙහිදී දැඩි අවධානයට ලක් විය.
මෙම අත්සන් කිරීමට නියමිත අවබෝධතා සංදේශය හරහා ශ්රී ලංකාවට අප්රිකානු කලාපයේ නැගී එන වෙළඳපොළවල් සහ තාක්ෂණික ජාලයන් සමඟ සෘජුව සම්බන්ධ වීමේ විභවතාව හිමිවන අතර, එය රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ජාත්යන්තර රාජ්යතාන්ත්රික පදනම ශක්තිමත් කිරීමට ද ඉමහත් පිටුවහලක් වනු ඇත. ඉදිරියේදී දෙපාර්ශ්වයේම ආයතනික නිලධාරීන් අතර පැවැත්වීමට නියමිත මෙහෙයුම් මට්ටමේ සාකච්ඡා මඟින් මෙම යෝජිත ක්ෂේත්රයන් හි ප්රායෝගික ක්රියාකාරී සැලසුම් සකස් කිරීමට නියමිත අතර, එය ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාවයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















