2027 ජනවාරි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027′ (Sri Lanka Expo 2027) ජාත්යන්තර ප්රදර්ශනයට පෙර, බ්රිතාන්ය ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සහ අපනයන වෙළඳපොළ පුළුල් කරගැනීම ඉලක්ක කරගනිමින් ශ්රී ලංකා රජය විසින් ලන්ඩන් සහ ඩෝවර් හිදී විශේෂ ව්යාපාරික ප්රවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුත් උසස් පෙළ ශ්රී ලාංකික දූත පිරිසකගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවරදී පැවැති ‘එක්සත් රාජධානිය-ශ්රී ලංකා වෙළඳ හා ආයෝජන සංසදය’ සඳහා බ්රිතාන්ය ව්යාපාරික නායකයින් සහ ආයෝජකයින් 130කට අධික පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය වසන්ත සමරසිංහ මහතා, එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්රමය (DCTS) යටතේ හිමිවන බදු සහන සහ ප්රතිලාභ උපරිමයෙන් භාවිත කරමින් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීමට බ්රිතාන්ය ව්යාපාරිකයන්ට ආරාධනා කළේය. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මෙන්ම මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් (Marks & Spencer) වැනි ලොව ප්රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහභාගී වූ මෙම සාකච්ඡාවලදී, කොළඹ වරාය නගරය (Port City Colombo), දේපළ වෙළඳාම් අංශය සහ මෙරට නිෂ්පාදිත උසස් තත්ත්වයේ භාණ්ඩ එක්සත් රාජධානිය වෙත මිළදී ගැනීම් සිදුකිරීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.
එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ පොදුරාජ්ය මණ්ඩලීය ව්යවසාය හා ආයෝජන කවුන්සිලය (CWEIC) එක්ව සංවිධානය කළ මෙම රාජ්යතාන්ත්රික ප්රයත්නය හරහා, දෙරට අතර වෙළඳ සබඳතා නව මානයකට ගෙන යාමට නියමිතය. මෙම ප්රවර්ධන වැඩසටහන් මාලාව ඔස්සේ 2027 ජනවාරි මාසයේ පැවැත්වෙන ප්රධාන ප්රදර්ශනය සඳහා ප්රමුඛ පෙළේ බ්රිතාන්ය ගැනුම්කරුවන් සහ විශාල ආයෝජකයන් පිරිසක් කොළඹට ගෙන ඒමට මඟපෑදෙන අතර, එය පශ්චාත්-අර්බුද සමයේ ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට ලැබෙන ප්රබල උත්තේජනයකි.
















