දිවයින පුරා පවතින සක්රීය කාලගුණික තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මධ්යම හා මහා පරිමාණ ජලාශ 38කට ආසන්න සංඛ්යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දැදුරු ඔය, රාජාංගණය, ඉඟිනිමිටිය, යාන් ඔය සහ උස්ගල සියඹලන්ගමුව ඇතුළු ප්රධාන ජලාශවල වාන් දැමීම සාපේක්ෂව ඉහළ අගයක පවතින අතර, මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු මහා ගංවතුර අවදානමක් නිරීක්ෂණය නොවුණද ගංගා සහ ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හමුවේ පහත් බිම් ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
කළු, කැලණි, නිල්වලා සහ ගිං ගංගා මෙන්ම අත්තනගලු ඔය ආශ්රිත පහත් බිම් කිහිපයක මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, විශේෂයෙන් මාතර, බද්දේගම, මිල්ලකන්ද, ඇල්ලගාව, ජාඇල සහ කටාන වැනි ප්රදේශවල ජලය රැඳී පැවතීම හමුවේ ප්රදේශවාසීන්ගේ දෛනික ජන ජීවිතයට තාවකාලික බාධා එල්ල වී ඇත. ගංගාවල ඉහළ ධාරා ප්රදේශවල ජල මට්ටම් ක්රමයෙන් පහළ යෑමේ ප්රවණතාවක් පෙන්නුම් කළද, කළුතර සහ ගම්පහ දිස්ත්රික්කවල පහත් බිම්වල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු පෙන්වා දෙති.
අද දිනයේදීත් දිවයින පුරා සාමාන්ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, වර්ෂාව ලැබෙන ප්රදේශවල ජල මට්ටම් යළි ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩි ලෙස අනතුරු අඟවයි. මේ හේතුවෙන් ගංගා, ඔයවල් සහ ජලය රැඳී ඇති පහත් බිම් ආශ්රිතව දිය නෑම, ජල ක්රීඩාවල නිරත වීම ඇතුළු අවදානම් සහිත කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, පවතින පාරිසරික තත්ත්වයන් හමුවේ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් වාරිමාර්ග බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
















