එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක පසුබසින පක්ෂයක් නොවන බවත් පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා නව මුහුණු කිහිපයක් හඳුන්වාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති යොවුන් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් අමතමිනි. එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියා අඩපණ වන්නට අවශ්‍ය නොමැති බවයි. එය ඊළඟ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණත්, අනෙක් පක්ෂත් සියල්ලම අඩු වශයෙන් මන්ත්‍රී 113ක් ඉලක්ක කරගෙන වැඩ කිරීමට අවශ්‍ය බව හෙතෙම පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 113 වඩා වැඩී ප්‍රමාණයක් ගැනීමට හැකි බවත් ඒ සඳහා කැප වී කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද අදහස් පල කර සිටියේය “ සමීක්ෂණ කිහිපයක පෙන්නුවේ අපි පසුවෙන් හිටියේ කියලා. ඒ සමීක්ෂණය තවත් විග්රහ කරහම අපිට නොලැබුණු ඡන්ද තියෙනවා, මම සඳහන් කරලා තියෙනවා බෞද්ධ මතය, මධ්‍යම පන්තිය, තරුණ, ඒ වගේම ඔබේ යුතුකම තරුණ ඡන්ද ලබාගන්න, විශේෂයෙන්ම බහුතරයක් ලබාගන්න ක්‍රියා කළ යුතුයි. දැනට පක්ෂයේ වැඩකටයුතු සංවිධාන වැඩ, බිම් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කරන්න උවමනායි. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මම අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට බාරදීලා තියෙනවා. පාර්ලිමේන්තුව 3 වෙනිදා රැස්වෙනවා. එතන ඉඳන් ඒ වැඩකටයුතු කිරීම ගැන අපි සාකච්ජා කරනවා“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.