වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම තරුණයන්ට ඡන්ද අයිතිය ලැබෙන පරිදි, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදිය.
අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවයි.
දැනට පවතින ක්‍රමය අනුව වසරේ ජූනි මස පළමු දිනට දින කිහිපයකට හෝ පසුව, වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අයට ඊළඟ වර්ෂයේ මැයි 31 දිනට පෙර ඡන්ද විමසීමක් පැවැත්වුවහොත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම නොලැබෙන අතර නව සංශෝධන අනුව විශේෂයෙන් තරුණ පරම්පරාවට තම ඡන්දය ඉක්මණින් ලියාපදිංචි කර ගැනීමේ අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” සභාපතිවරයාද වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, දත්ත බැංකුවක් මගින් සමස්ත ඡන්ද ක්රමයේම සියලු තොරතුරු එක්රැස් කර තැබීමේ ක්‍රියාදාමයක් පිළිබඳ, විශේෂ කාරක සභාව, මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.