විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05 ) දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
අති දුෂ්කර වූ විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී 29 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාළාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීමෙන් පසුව නාවික හමුදාධිපති විසින් මෙම පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්රදානය කෙරිණි.
එහිදී, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා, දක්ෂතම ක්‍රීඩකයා සහ අතිශූර සාමාජිකයා වශයෙන් උප ලුතිනන් ඒජීආර්එච්එන් අතපත්තු ද, දක්ෂතම වෙඩික්කරු වශයෙන් සාමාන්‍ය නැවි ආර්ඩී ඩිලාන් ද, දක්ෂතම පිහිණුම්කරු ලෙස සාමාන්‍ය නැවි අයිජීඑල්සී ගුණරත්න ද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නැවි කේකේඒඑන් දේශප්‍රිය ද නාවික හමුදාධිපති වෙතින් කුසලාන හිමිකර ගන්නා ලදි.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්යක්ෂ ජෙනරාල් අයැවය හා මුදල් රියර් අද්මිරාල් තිලක් සිගේරා, අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් සමන් පෙරේරා, අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ, ධජ නිලධාරීන්, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කපිතාන් නිස්සංක වික්‍රමසිංහ ඇතුළු නාවික හමුදා මුලස්ථානය හා නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික පුද්ගලයන් මෙන්ම අද දින ලාංඡන පැළඳි නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.