ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළක එක් කොටසක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ජාතික නායකයන් බිහි කිරීම වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවද අගමැතිවරයා කියා සිටියේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ (17) පැවති ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන උළෙල “ පෞර්ෂාභිමාන- 2022” අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා,” ජාතියේ අනාගතය වෙනුවෙන් යොවුන් සේනාංකය බිහි වී දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබෙනවා. තරුණ තරුණියන්ට මේ අවකාශය ලබා දීමට වත්මන් ජනාධිපතිතුමා, තරුණ සේවා ඇමැතිවරයා ලෙස එවකට විශාල වැඩ කොටසක් සිදු කළා. පාසල් ජීවිතයෙන් පසුව විශ්විද්‍යාලවලට නොයන තරුණ පරපුරට මඟ පෙන්වීමට තරුණ සේවා සභාව විශාල කාර්යභාරයක් සිදුකරන බව පැහැදිලියි. ඒ සඳහා යොවුන් සේනාංකයෙන් විශාල වගකීමක් ඉටු කරන බව අපි දන්නවා. යොවුන් සේනාංකය රටට එක්කර තිබෙන විශාලම දායාදය තාරුණ්‍යයේ එකමුතු බවයි. ඉදිරියේදී රට ගොඩනැඟීමට තිබෙන අභියෝගයට යොවුන් සේනාංක වැනි සංවිධාන වලින් විශාලම දායකත්වයක් ලබා ගත හැකියි. තරුණ තරුණියන්ගේ හැකියාවන්වලට උදව් දෙන සියලුම පහසුකම් යොවුන් සේනාංකයට තිබෙනවා. අපේ තරුණ තරුණියන්ගේ නිපුණත්වය ඔපමට්ටම් කරමින් අනාගතය භාර ගැනීමට හැකි පුරවැසියන් බිහි කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, කපිල නුවන් අතුකෝරල , ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.