මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සහ සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් සංවිධානය කළ “ගමට ජංගම සේවය” වැඩසටහන පල්ලේපොල විවිධ සේවා සමූපකාර සමිති පරිශ්‍රය මූලික කරගනිමින් (3) පැවැත්විය.
මෙහි සමාරම්භක අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම ජංගම සේවයට වෛද්‍ය පරීක්ෂණ, ඇස් කණ්නාඩි ලබාදීම්, පොල් පැල හා කෘෂි භෝග පැල ලබාදීම, නිෂ්පාදන අලෙවි කුටි, ශ්‍රී ලංකා පොලීසියේ උපදේශණයන්, සිගිති පොලක් වැනි අංශ ගණනාවකින් සමන්විතව තිබුණි.
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ එදා සීමිත වෙළදාම් ක්‍රියාවලියක පමණක් නිරත වූ සමූපකාරය අද වන විට ක්ෂේත්‍ර ගණනාවක් හා සම්බන්ධව ජනතාව සදහා ඉතා පුළුල් සේවාවක් නිරත වන බවයි. සමූපකාරය යන ජනතාවගේ ව්‍යාපාරයක් බවත්, කොවිඩ් වසංගත තත්ත්වය පැවති අවධියේදී සමූපකාරය ඉටු කළ සේවය ඉතා සුවිශේෂී බවත්, සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම උදෙසා පළාත් සභාවක් වශයෙන් සෑම විටම උත්සාහ කරනු ලබන බවත් ය. මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ එම මහතා පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සදහා පළාත් සභාවක් වශයෙන් ප්‍රථම වරට පාසලේ තම පංතියේ දරුවන්ට මුදල් ලබා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට කටයුතු කළ බවත්, එම තහනම වචනයට සීමා නොකර තහනම් නියෝග කඩ කල ගුරුවරුන්ට මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සදහන් කර සිටියේය.
මෙම ජංගම සේවය හා සමගාමීව සමූපකාර සමිති කාර්ය මණ්ඩල සදහා නව පත්වීම් 65 ක් ලබාදීම, සරසවි වරම් හිමිකරගත් චන්දීපා ප්රබෝදනී දැරිය සදහා ශිෂ්‍යත්වයක් ලබාදීම, පාසල් වොලි බෝල් තරඟාවලියක් පැවැත්වීම හා විශේෂ දිනුම් ඇදීමක් ද සිදු වු අතර, එම දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක තේරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල සහ පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් විසින් සිදු කළ අතර, එහි ප්‍රථම ස්ථානය සදහා අංග සම්පූර්ණ නිදන කාමර කට්ටලයක් හිමිවිය. ජංගම සේවය අතරතුර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පල්ලේපොල විවිධ සේවා සමුපකාරය අසල පවතින ක්‍රීඩාංගනයේ අඩුපාඩු සොයා බැලීමට ද විදුහල්පතිවරුන්ගේ සහ සමුපකාර සභාපතිවරුන්ගේ ගැටලු සදහා වන විශේෂ සාකච්ඡා ද්විත්වයකට ද සහභාගී විය.
මෙම ජංගම සේවය සදහා චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන, සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් කේ.ඒ.එල් සජීවනී, පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සම්පත් ලියනගේ, ශ්‍රී ලංකා පාරිභෝගික සංගමයේ හා මහනුවර විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපති රුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් විය.
මහේෂ් – මාතලේ