නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) විවෘත කෙරිණි.
යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.
මෙම නව තෙමහල් ගොඩනැඟිල්ල හෘද රෝග ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය (Cath Lab), හෘද උරස් ශල්‍යාගාරය (Cardiothoracic theatre), හෘද දැඩි සත්කාර ඒකකය (Cardiac ICU), එකෝ කාඩියෝග්රැෆි (Echo Cardiography), ව්‍යායාම විද්‍යුත් කන්තුක රේඛන (Exercise ECG), ජංගම රුධිර පීඩන අධීක්ෂණ ඒකකය (Ambulatory BP monitoring), ජංගම විද්‍යුත් කන්තුක රේඛන (Ambulatory ECG monitoring) අධීක්ෂණ ඒකකය ආදී නවීන පහසුකම්වලින් සම්නවිතය.
වකුගඩු රෝග ඒකකය සඳහා රුධිර කාන්දුපෙරණ ඒකකය, ස්කෑන් කාමරය සහ වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් කාමරය සහ ශල්‍ය ඒකකය ආදී පහසුකම් ඇතුළත් වේ.
සමරු ඵලකය නිරාවරණය කර හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ඇතුළත් නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයේ සහයෝගය යටතේ ලැබී ඇති මෙම සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට රජය කටයුතු කරන බවයි.
මේ වන විට නවීන සහ දියුණු රෝහල් පද්ධතියක් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා A9 මාර්ගයේ ශක්තිමත් වූ මෙම නවීන රෝහල් පද්ධතිය මෙරට වෛද්‍ය සංචාරක ව්‍යාපාරයට ද මහඟු රැකුලක් බව සඳහන් කළේය.
ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් (Bonnie Horbach) මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලක්ෂ්මනන් ඉලංගෝවන් යන මහත්ම මහත්මීන් සහ උතුරු පළාත් සභාවේ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.