විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
ඒ සමඟ මෙරට විදෙස් ණය හිමියන් සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාද අහිමිව රට බරපතල අර්බූදයකට ගමන් කිරීමේ අවදානමක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදීය.
උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරමින් ජනතාවට සහන සැලසීම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඊට අදාළ අවසන් එකඟතා ඇති කර ගැනීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මාසය වන විට බදු අඩු කිරීම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය