19 September 2024
#දේශීය #පුවත්

ප්‍රසිද්ධ සමාගමක බේබි සබන් බාල බව හෙළිවෙලා – සමාගම උසාවියේ වරද පිළිඅරන්!

ප්‍රසිද්ධ සමාගමක බේබි සබන් බාල බව හෙළිවෙලා – සමාගම උසාවියේ වරද පිළිඅරන්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පලකරනු ලැබුවා.

එහි සඳහන් වුණේ මෙරට ප්‍රසිද්ධ සබන් නිෂ්පාදන සමාගමක් විසින් වෙළඳපොළට නිකුත් කරන ලද ප්‍රමිතියෙන් තොර ළදරු සබන් පිළිබඳව.

මේ පිළිබඳව වැඩිදුර සොයාබැලීමේදී හෙළිවුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශනයකින් අනතුරුව, ප්‍රමිතියෙන් තොර ළදරු සබන් නිෂ්පාදනය කර අලෙවි කරන බවට රටේ ප්‍රකට සබන් නිෂ්පාදන සමාගමක් පසුගියදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පාපොච්චාරණය කර තිබෙන බවයි.

සිත් ඇදගන්නා හැඩවලින් සහ අඩු මිලකට ළදරු සබන් අලෙවි කිරීමට මෙම සමාගම ප්‍රසිද්ධයි.

කොහොම උණත් මේ ප්‍රසිද්ධ සමාගම, තමන්ගේ ළදරු සබන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවලට අධිකරණයේදී මුහුණ දුන්නා.

පසුගිය මැයි මාසයේ පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් ලැබීමෙන් පසුව එම අධිකාරිය විසින් ඊට අදාලව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි නිලධාරීන් විසින් පිටකොටුව ප්‍රදේශයෙන් සමාගමේ ළදරු සබන් සාම්පල එකතු කර තත්ත්ව පරීක්ෂාව සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යවා තිබෙනවා.

ළදරු සබන් සඳහා වන SLS 547:2009 පිරිවිතර යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නියම කරන ලද ප්‍රමිතියේ අගය(TFM) 78%ක් හෝ ඊට වැඩි විය යුතු වෙනවා.

ඒත් මේ සමාගම නිෂ්පාදනය කළ සබන්වල සම්පූර්ණ TFM ප්‍රමාණය 63% ක් පමණක් බව ප්‍රතිඵලවලින් හෙළිවෙලා.

මේ සාක්ෂි මත පදනම් වෙලා අධිකාරිය මේ සමාගමට විරුද්ධව චෝදනා ගොනු කළා.

මේ නඩුව අගෝස්තු මාසයේ මැද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.

නඩු විභාගය අතරතුර, සමාගම තමන්ගේ සබන් ඇසුරුම්වල සටහන් අවශ්‍ය TFM අගය අසත්‍ය බව පිළිගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් විදිහට, ප්‍රමිතියක් නැති ඒ සියලුම ළදරු සබන් තොග අලෙවිය වහාම නතර කරන ලෙසත් සිල්ලර වෙළෙන්දන්ට දැනටමත් බෙදා දී ඇති සබන් තොග ආපසු කැඳවන ලෙසත් අධිකරණය සමාගමට නියෝග කළා.

මෙම සමාගමේ ළදරු සබන් මිලදී ගැනීමේදී රිභෝගිකයින්ට ප්‍රවේශම් වන ලෙස පවසමින් තමයි පාරිභෝගික කටයුතු අධිකාරිය මුලින් කී පුවත්පත් දැන්වීම නිකුත් කරලා තිබුණේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *