හලාවත – සිංහපුර පාරේ දෙමහල් නිවසක පහළ මාලයේ ස්ථාන දෙකක පිලිස්සී ගිය එක ම පවුලේ පියා, මව හා දියණියකගේ මළ සිරුරු 3ක් ඊයේ (ඔක්. 20) අලුයම 4:30ට පමණ හලාවත පොලිසියට ලැබුණු තොරතුරක් මත සොයා ගෙන ඇත.
පොලිසිය එම ස්ථානයට යන අවස්ථාවේදී අධික ලෙස පිලිස්සී ගිය මවගේ සිරුර පහළ මාලයේ කාමරයකත්, පියාගේ හා දියණියගේ සිරුරු සාලය අසලත් වැටී තිබියදී සොයාගනු ලැබීය.
මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත – කුරුණෑගල පාරේ, සිංහපුර මාවතේ පදිංචිකරුවන් වන සමිත්රලාගේ ගෙදර සේනාරත්න (48) නමැති ඉඩම් ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ බිරිය වන හලාවත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන මුහන්දිරම් රාළලාගේ මංජුලා නිරෝෂනී බණ්ඩාර (42) හා පාසල් සිසුවියක වන සමිත්රලගේ ගෙදර නෙත්මි නිමේෂා (15) යන අයයි.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (ඔක්. 20) දහවල් හලාවත මහේස්ත්‍රාත් සසික ද සිල්වා මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදී සිදු කරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හලාවත සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වර්ණසූරිය මහතා විසින් සිදුකරනු ලැබීය.
හලාවත පොලිස් අධිකාරි, පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණය යටතේ හලාවත මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක, රුක්ශාන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරන අතර මෙම මරණ දිවිනසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව වැඩිදුර පුළුල් පරීක්ෂණ පවත්වනු ලබන බව ද පොලිසිය පවසයි.