මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅට කෝටි හැටලක්ෂ පනස් අටදහස් නවසිය විසිදෙකක් වටිනා (186,058,922) සහල් සහිත බහාලුම් 53ක් දැනට වසර 6ක පමණ කාලයක සිට රේගුවේ රඳවා ගෙන ඇති බැව්, ජාතික විගණන කාර්යාලය මගින් ඔක්තෝබර් මස 25වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. පාරිභෝගික අධිකාරිය මගින් පළකරන ලද ගැසට් පත්‍රයක් හේතුවෙන් මෙම සහල් සත්ත්ව ආහාර වශයෙන් යොදා ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
රේගු ආඥා පනතේ විධි විධානයන්ට අනුගත විය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, සහල් සහිත බහාලුම් 53ක් 2019 වර්ෂයේ මාර්තු 01වනදා සිට නිදහස් කිරීමට නොහැකි වී ඇත්තේ, එම බහාලුම් සහිත ආනයනය කරනු ලැබූ වෙනත් සහල් අඩංගු බහාලුම් සම්බන්ධයෙන් අභියාචනා අධිකරණයෙන් නඩුවක් පැවතීම නිසා බවත්ය.
මේ නිසා සහල් බහාලුම් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගු සටහන් කර ඉදිරිපත් කර නොමැති බවද ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත. අභියාචානාධිකරණයේ තීරණය මත අදාළ බහාලුම් නිදහස් කර ගැනීමට රේගු සටහන් කර ඉදිරිපත් කළද, ඒවා මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමට පැමිණ ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු කර ඇති බවද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය මගින් ආයනික සහල් සත්ත්ව ආහාර සඳහා මූලද්‍රව්‍යයක් ලෙස වළක්වා ඇත. එම නිසා අදාළ බහාලුම් නිදහස් කිරීමට නොහැකි වී ඇති බවද රේගුවේ ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත.