අමාත්‍ය නිල නිවාස සඳහා ලබා දී ඇති ජල සම්බන්ධතා 23ක් සම්බන්ධයෙන් අය විය යුතු රුපියල් මිලියන 3.5ක මුදලක් ඉකුත් වර්ෂය (2023) අවසන් වන විට ද අය කර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකී මුදල දිගුකාලීනව හිඟව පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
අදාළ පාර්ශ්වයන්ගෙන් අය විය යුතු මුදල් අය කර ගැනීම සඳහා ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මේ පිළිබඳ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, මිය ගිය මහජන නියෝජිතයන්ගෙන් අය විය යුතු හිඟ මුදල් අය කර ගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දන්වා ඇති බව ය.
මහජන නියෝජිතයන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමේදී සාමාන්‍ය පාරිභෝගිකයන් ලෙස සලකා හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරනු ඇති බව ය.
හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම් විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.