රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ දහවල් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසක් පමණ සහභාගීත්වයෙන් රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට එක් මංතීරුවක් අවහිර විණි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වහා මාරු කරන ලෙසත් උපකුලපතිවරයා පමණක් මාරු කර මෙම ගැටලුව නොවිසඳෙන බව ත් ඒ හේතුවෙන් උප කුලපතිවරයා මෙන් ම නියෝජ්‍ය උප කුලපතිවරයා මෙන් ම විනය පාලක වහා ඉවත් කරන ලෙසත් මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්සිය පනස් දෙනකුගේ පමණ ශිෂ්‍යභාවය අහෝසි කර භූමිය තහනම් කර ඇති බැවින් ඔවුන්ට සාධාරණත්වය ඉටුකර දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්විය.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කවිදු සංකල්ප මෙසේ පැවසීය. “අපි දන්නවා මේ වෙද්දී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉහළ පරිපාලනේ ඉන්න යම් යම් පුද්ගලයන් නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධා ඇති වී තිබෙනවා ඔවුන්ගේ නිදහසට. රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, නියෝජ්‍ය උප කුලපතිවරයා මෙන් ම විනය පාලකගේ මේ අවුරුදු ගණනාවක සිට කර ගෙන යන අත්තනෝමතික ක්‍රියා නිසා ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු ඔවුන්ට කර ගෙන යන්න නොහැකි වෙලා තියෙනවා. මේ වන විට ජීවිත කාලයට ම ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, තාවකාලික ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, නේවාසිකාගාරවල ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ඇතුළු විශාල ගණනක ශිෂ්‍යභාවය අහෝසි කිරීම් මේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා.
ඒ වගේ ම, මේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම කිසිම ආකාරයකින් විනයානුකූලව නොව අත්තනෝමතිකව සිදුකර තිබෙනවා. අපි මේ දිගින් දිගට ම කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉහළ පුටුවල ඉන්න පරිපාලනය අත්තනෝමතිකව ගෙන යන පාලනයට අපි විරුද්ධයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විධියට අපි දිගින් දිගට ම ඉදිරියටත් මේ විශ්වවිද්‍යාලයේ ඉහළ පුටුවල ඉන්න උපකුලපතිවරයා, නියෝජ්‍ය උපකුලපතිවරයා සහ විනය පාලකවරයා ඉවත්වන තෙක් අපි මේ සටන අතාරින්නෙ නෑ. මුළු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විධියට ඔවුන් ඉල්ලා අස්වන තෙක් මේ සටන දිගට ම ක්‍රියාත්මක කරනවා.”