එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවකු ඝාතනය කර ඔහුගේ දේපොළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් පවරාගෙන විකිණීම හා භුක්ති විඳීමේ චෝදනාවට ආයෝජන මණ්ඩලයේ හිටපු සහකාර අධ්යක්ෂවරයකු හා ව්‍යාපාරිකයකුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල පදිංචි නිහාල් දේවප්‍රිය (62) නමැති අයකු හා වෙන්නප්පුව, කොලින්ජාඩියේ පදිංචි ජෙරාඩ් ලින්කන්ද මෙල් නමැත්තෙකි.
බිංගිරිය බෝවත්තේ පදිංචිව සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවකු වූ සමන් විජේසිරි යන අය 2018 ඔක්තෝබර් 23 දා ඝාතනය කර ඔහුගේ සිරුරු කොටස් කලපුවකට දමා තිබිණි. ඉන්පසු ආගමන විගමන නිලධාරියකුගේ සහාය ඇතිව සමන් විජේසිරි යන අය රටින් පිටව ගිය බවට ගුවන් තොටුපොළ පරිගණක පද්ධතියට රහසිගතව දත්ත එකතු කර තිබිණි. මෙම සැලසුම් සහගත ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කළ දීර්ඝ විමර්ශනයකින් පසු තහවුරු විය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම දේපොළ භුක්ති විඳින පුද්ගලයන් සෙවීම නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පවරා තිබිණි.
ඒ අනුව කළ විමර්ශනයකදී මරණකරුගේ හලාවත පුත්තලම් පාරේ පර්චස් 12.6ක ඉඩමක්, හලාවත, කොළඹ පාරේ පර්චස් 20ක ඉඩමක් හා හලාවත ආනන්ද මාවතේ පර්චස් 50ක ඉඩමක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් ජෙරාඩ් ලින්කන් නමැති අයගේ නමට පැවරීමේ චෝදනාවට නිහාල් දේවප්‍රිය නැමැති අය අත්අඩංගුවට ගෙන තිබේ. රුවන් චන්දන නමැති අය සමග එක්වී දේපොළ විකිණීම හා භුක්ති විඳීම සඳහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ මොහුව අත්අඩංගුවට ගෙන ඇත. එම දේපළ පවරාගෙන විකිණීම හා භුක්ති විඳීමේ චෝදනාව යටතේ ව්‍යාපාරික ජෙරාඩ් ලින්කන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබිණි.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ උපදෙස් මත නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංශ 2හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන මෙහෙයවයි.