වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දී වි අස්වනු මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලින් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වන දින වන විටත් රුපියල් තිස් හත්කෝටි විසි හතර ලක්ෂ අට දහස් හැට හතක මුදලක් ලංකා බැංකුවට (372,408,067) ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය ම`ගින් නොවැම්බර් මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ලංකා බැංකුව විසින් මහා කන්නයේ දී වී අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හයසිය පනහක ණය මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දී තිබුණු බව විගණනය මගින් අනාවරණ කර ඇත. මෙම ණය මුදල 2022 සැප්තැම්බර් මස 11 වන දින වන විට පියවා අවසන් කළ යුතු විය.
මෙම ණය මුදල නියමිත දිනට ගෙවා අවසන් කිරීමට නොහැකි වීම නිසා ගෙවීමට සිදුවී ඇති පොලිය හා දඩ මුදල රුපියල් දාසය කෝටි හතලිස් ලක්ෂ හතලිස් අට දහස් හයසීය හැට හයක් ( 164,048,666) බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.
මේ තුළ ප්‍රමාද වීම නිසා අය කළ දඩ මුදල රුපියල් හැත්තෑ තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසීය පනස් නවයක් (7,342,859) වූයෙන් අනාර්ථික වැය දැරීමක් විගණනය මගින් අනාවරණය කොට ඇත. ලංකා සතොස සහ වෙළඳ අමාත්‍යංශයෙන් අය විය යුතු රුපියල් මිලියන හාරසීයයක ණය මුදල මගින් මෙම ණය මුදල ගෙවීමට සැලසුම් කොට ඇති බවද එය එම මුදල මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදාට පෙර ගෙවීමට සැලසුම් කර ඇති බවද වී අලෙවි මණ්ඩලයේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.