පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ (2025) ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ.
අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවකාශයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වනවිට දේශපාලනය අත්හැර ඇති අතර, ඇතැමුහු රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇත. මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට නොමැති බවද අනාවරණය වේ.
මෙවැනි තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා යළි කැඳවන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතුවේ. ඒ සම්බන්ධව ද රජයේ අවධානය යොමුවී ඇතැයි පැවසේ.
පැරණි නාමයෝජනා ලැයිස්තුවට පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් ඊට ඡන්දය ප්රකාශය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ 2023 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වූ ඡන්ද හිමියන්ට පමණක් වන අතර මේ නිසා 2024 ඡන්ද හිමි නාමලේඛනය සමග සැසඳීමේදී ඡන්දදායකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාවද අහිමි වේ.
කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙමස 27 වැනිදා රැස්වීමට නියමිතය.