එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශාලතම කුකුල් හැඩයේ ගොඩනැඟිල්ල ලෙස පිලිපීනයේ හෝටලයක් ගිනස් වාර්තා පොතට ඇතුළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර පිලිපීනයේ නිග්‍රෝස් ඔක්සිඩෙන්ටල් කලාපයේ සංචාරක පුරවරයේ ඉදි කර ඇති එම දැවැන්ත කුකුල් හැඩයෙන් යුතු හෝටලය මහල් 10කින් සමන්විත වන අතර, උසින් මීටර් 34.93ක් සහ පළලින් මීටර් 12.12ක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සුළිකුණාටුවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් ලෙස ඉදි කර ඇති එම හෝටලය කවුළු රහිත කාමර 15කින් සමන්විත බවත්, සියලු කාමර අංගසම්පූර්ණ පහසුකම්වලින් යුතුව සකස් කර ඇති බවත් වාර්තා වේ. එය ලොව ඉදි කළ කුකුල් හැඩයෙන් යුතු විශාලතම ගොඩනැඟිල්ල ලෙස පසුගිය සැප්තැම්බර් මස මුල් භාගයේදී ගිනස් වාර්තා සමාගම විසින් පිළිගනු ලැබූ බව ද වාර්තා වේ. මාස 6ක කාලයක් සැලසුම් කර ඇති එම හෝටලයේ ඉදි කිරීම් කටයුතු පසුගිය වසරේ ජූනි මාසයේදී ආරම්භ කළ බවද වාර්තා වේ.