ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (5 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරකයන්ට හිමිවීම හේතුවෙන් තරගාවලි පරාජයෙන් බේරීමට මෙන්ම, ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරග බලාපොරොත්තු තබා ගැනීම වෙනුවෙන්ද ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
අදින් ඇරැඹෙන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සාමාන්‍යය 54.54ක අගයක් ගන්නා අතර දකුණු අප්‍රිකාවේ ප්‍රසාද ලකුණු සාමාන්‍යය 53.33ක් දක්වා පහත වැටෙනු ඇත. මේ අනුව මෙම තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුවහොත් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා උසස්වීමක් ලබාගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. කෙසේ වෙතත් අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූවහොත් ප්‍රසාද ලකුණු සාමාන්‍යය 45.45 දක්වා පහතට ඇද වැටෙන අතර යම් හෙයකින් එසේ සිදු වූවහොත් ශ්‍රී ලංකාවේ ලෝක ටෙස්ට් ශූරතා බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් ලියැවීම සඳහා අතිශයින්ම වැදගත් අදාළ දෙවන ටෙස්ට් තරගයට ප්‍රථම පැවැති මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූ පිතිකරණ පුහුණුකරු, අත්දැකීම් බහුල ශ්‍රී ලංකාව හොඳින් තරගයට අවතීර්ණ වනු ඇති බව සඳහන් කර තිබිණි. නිමා වූ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගයේදී ද ශ්‍රී ලංකාව පරාජයවූ නමුත් එහි තුන්වන තරගයේ ජයග්‍රහණයක් වාර්තා කිරීම හා සමාන තත්ත්වයක් මෙම දකුණු අප්‍රිකා තරග සංචාරයේදී බලාපොරොත්තු විය හැකි බව හෙතෙම අවධාරණය කළේය.
තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට තරග කාල සීමාව තුළදී වර්ෂාවෙන් බාධාවක් එල්ල වීමට ඉඩ නොමැති බවට කාලගුණ අනාවැකි පළ වී ඇත. එමෙන්ම හොඳින් හිරු එළිය පතිත වන කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, සෙල්සියස් අංශක 28ට ආසන්න උෂ්ණත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් වාර්තා වේ. මේ අනුව බොහෝවිට දිනයේ උදෑසන වරුවේ සහ සන්ධ්‍යා සමයේ වේග පන්දුවට වැඩි වාසියක් හිමිවීමට ඉඩ පවතින අතර මේ හේතුවෙන් දිනයේ පළමු සහ තෙවන කාර්තු තුළ ප්‍රතිවාදීන්ව පිතිකරණයට කැඳවීමට තරගය පුරාවටම කණ්ඩායම් දෙක උත්සුක වනු ඇත. මේ අනුව බොහෝවිට තරගයේ දෙවන කාර්තුව තුළ තරමක වැඩි ලකුණු ලබාගැනීමේ වේගයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කළ හැක. මේ හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හිමි කරගන්නා නායකයා බොහෝවිට පළමුවෙන් පන්දුවට පහරදීමට උත්සුක වනු ඇත.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් තරගයට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැක. වේග පන්දු යවන්නන් තිදෙනෙකු යොදාගැනීම මෙන්ම අමතර පිතිකරුවකුගේ අවශ්‍යතාවය මත අද තරගයේදී විශ්ව ප්‍රනාන්දු විවේක ගන්වා මිලාන් රත්නායක කැඳවීමට වැඩි ඉඩක් ඇත.
ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම –
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේශ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය