ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කර්මාන්ත අමාත්‍යවරයා පවසා සිටියි.
නුදුරේදීම රාජ්‍ය අංශය ඇතුළුව අනිකුත් සෑම ක්ෂේත්‍රයක් තුළම මේ තත්වය ඇතිකරන බැවින් විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථාවන් පිළිබඳව සොයා බැලීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සමග පැමිණි කැනේඩියානු ව්‍යාපාරික දූත පිරිසක් හමු වූ අවස්ථාවේදීය.
මෙහි දී මේ වන විට නව රජය විසින් විදේශීය ආයෝජකයන්ට සපයා ඇති පහසුකම් පිළිබඳව දූත පිරිස දැනුවත් කළ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි හා ග්‍රැෆයිට් කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීමට තාක්ෂණික සහාය ලබාගැනීම සඳහාත් එම ක්ෂේත්‍රවල ආයෝජනය සඳහාත් කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරන ලදී.
මෙහිදී සෑම වසරකම කැනඩාවේ ටොරොන්ටෝ වල පවත්වනු ලබන ඛනිජ වැලි (Mineral Sands) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් කළ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා එහිදී උසස් තත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලබාගත හැකි බව පැවසීය. එසේම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරන ” Clean Sri Lanka ” වැඩසටහන අගය කළ කැනඩා මහ කොමසාරිස්වරයා වංචාව හා දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවකින් පසුවන බව පැවසීය.
බෝට්ටු නිෂ්පාදනය, ඛනිජ වැලි, ග්‍රැෆයිට්, අගය එකතු කළ කුලුබඩු ඇතුළු ක්ෂේත්‍ර 20 ක පමණ නව ආයෝජන අවස්ථා රැසක් පවතින බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා එම ක්ෂේත්‍ර වල ආයෝජනය සඳහා කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.