දිනය දෙදහස් විසිදෙකේ මැයි නව වැනිදාය. එදින දහවලේ සිට පසුදින උදේ වනතුරා දහස් ගණනක් අරලියගහ මැදුර වට කළෝය අරගලකරුවන් අරලිය ගහ මැදුරට දිගින් දිගටම පහර දුන්හ. යුද හමුදාවේ බසයකට ගිනි තැබුහ. ඔවුන්ගේ ඉලක්කය වුයේ ගේටිටුව කඩා අරලිය ගහ මන්දිරයට ඇතුළු වීමය. මැදුර ඇතුලේ කොටු වී සිට් මහින්ද රජපක්ෂ එළියට ගෙන රැගෙන යාමට තීරණය කෙරුණේ තිරිකුණාමලයටය.එනමුත් අතිවිශේෂ ප්‍රභුවරුන් හෙවත් වී.වී.අයි.පී.කාණ්ඩයට වැටෙන ඔහු රැගෙන රාත්‍රියේ හෙලිකොප්ටර්ය පැදවීමට ගුවන් හමුදාව මනාප නොවීය. එය ගුවන් හමුදාවේ පිළිවෙතය. එබැවින් ගුවන් හමුදාව යෝජනා කළේ පළමු ඉර එළියෙන්ම ඔහු රැගෙන ගුවන් ගත වීමටය.
ඒ වනවිටත් හිටපු අගමැතිවරයා වටා කොමාන්ඩෝ ආරක්ෂක වළල්ලක් යොදා තිබුණි. යම් හෙයකින් අරලිය ගහ මැදුරේ ගේට්ටු කඩා අරගලකරුවන් ඇතුළු වුවහොත් අධිබලැති බෝම්බ වලට පවා ඔරෝත්තු දෙන බී.ටි.ආර්.හෙවත් සන්නාහ සන්නද්ධ රථයක හිටපු අගමැතිවරයා නංවාගෙන එළියට ගැනීමට ද සැලැසුම් කෙරුණි.
හිටපු අගමැතිගේ දිවිය බේරා ගෙන අලුයම ඔහු ආරක්ෂිතව එළියට ගැනීම යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට පැවරිණි. පසු දින අලුයම හතරට අරලිය ගහ මැදුරට කඩාපැන එසැණින් අගමැති මුදාගෙන ගුවන් හමුදා මූලස්ථානයට රැගෙන යාම මෙහෙයුම් සැලසුම විය. මහින්ද රාජපක්ෂ පැත්තෙන් සම්බන්ධීකරණය කෙරුණේ ලුතිනන් කමාන්ඩර් මාලක චන්ද්‍රදාසය. ඔහු මහින්දගේ නැගණියක වන ප්‍රීතිගේ පුතාය. කලින් නියමකරගත් වේලාවට අරලිය ගහ මැදුරේ ගේට්ටුව විවෘත කර මහින්ද එළියට ගෙන එසැණින් වසා දමන ලෙස උපදෙස් ලැබිණි. ඒ අරගලකරුවන්ට අරලියගහ මැදුරට රිංගීම වැළැක්වීමටය.
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට අතිවිශිෂ්ට පුහුණුවක් ලබා සිටින කොමාන්ඩෝ භටයෝ අරලියගහ මැදුරට කඩා පැන මහින්ද සමීපයට ගියහ. එනමුත් ශිරන්ති රාජපක්ෂ එළියට ඒම ප්‍රමාද විය. ඇගේ රූපලාවණ්‍ය කටයුතු වලට වැය වූ වෙලාව වැඩි විය .
කෙසේ නමුදු කොමාන්ඩෝ භටයන් කලින් සැලැසුම් කළ වෙලාවට මහින්දගේ රථ පෙළ නොආ නිසා අරලියගහ මැදුරේ ගේට්ටුව වසා දැමුණේය. ඒ බව නොදැන පැය භාගයක් ප්‍රමාද වී පැමිණි මහින්ද සිටි වෙඩි නොවදින කාරයේ රියැදුරු දුටුවේ ගේට්ටුව ඉදිරියෙන් අධිබර යකඩ පොල්ල පාර හරහා දමා ඇති බවය. කාරය ආ වේගයට එහි ගැටුණේ නම් මහින්ද රාජපක්ෂ මියයන්නේ ඒ මොහොතේය.
රියැදුරු කාරය වමට කැපුවේය. පදික වේදිකාවේ ටයරය වැදී පිපිරී ගියේය. ඒ සමග එසවුණ යකඩ පොල්ල යටින් කාරය ගත් රියැදුරු රිම් එකින්ම කොටුවේ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ ගුවන් හමුදා මූලස්ථානයට නොනැවතී ආවේය. ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ හෙලිපෑඩයට ගොඩබෑ හෙලිකොප්ටර්යෙන් මහින්ද හා ශිරන්ති යුවළ තිරිකුණාමලයට ගෙනයනු ලැබීය.
එදා කොමාන්ඩෝ මෙහෙයුම නැතිනම් මහින්ද ශිරන්ති යුවළට සිදුවනු ඇත්තේ ගිය සතියේ. නේපාල හිටපු අගමැති පවුලටම වූ දෙයමය.
- මිහිරි ෆොන්සේකා