2025 ඔක්තෝබර් 6 වන දා, මාධවී වත්සලා ඇන්තනී තම ෆේස්බුක් ගිණුම හරහා සංජය බණ්ඩාර මහතා පිළිබඳව “අමානුෂික දේශපාලන අන්තවාදියෙක් සහ ළමා අපයෝජකයෙක්” ලෙස සඳහන් කරමින්, ඔහුගේ ෆේස්බුක් ගිණුම (report) කිරීමට අනෙකුත් පුද්ගලයන්ට කැඳවීමක් සිදු කළා.
එම ප්‍රකාශය සමඟ සංජය බණ්ඩාර මහතාගේ ඡායාරූපයක්ද පළ කර තිබුණා. මෙම අසත්‍ය හා අපහාසාත්මක පෝස්ටුව හේතුවෙන් සංජය බණ්ඩාර සහ ඔහුගේ පවුල දැඩි මානසික පීඩාවට ලක්වූ බවත්, එමනිසා මාධවී ඇන්තනී වෙත රුපියල් මිලියන 100ක නඩු තැන්පතු ඉල්ලීමක් යවා ඇති බවත් වාර්තා වුණා.
***********************
කෙසෙ වෙතත් මෙම සිද්දිය සම්බන්දයෙන් මාධවි අද 13 දින තම face book පිටුවෙ මෙලෙස සටහනක් තබා තිබුණා
ප්‍රසිද්ධ සමාව අයැදීමේ සහ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ නිවේදනය
———————————————————-
සංජය බණ්ඩාර මහතා සම්බන්ධයෙන්, 2025 ඔක්තෝබර් මස 06 වන දින, මා විසින් මාගේ ෆේස්බුක් පිටුව හරහා සිදු කරන ලද story පලකිරීමක් සම්බන්ධයෙන් මෙයින් නිවේදනය කරමි. එම පලකිරීමේදී, සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය සදහන් කරමින්, ඔහු “දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළමා අපයෝජකයකු” (political extremist bully and child abuser) ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව මෙසේ පැහැදිලි කරනු කැමැත්තෙමි.
ඒ අනුව ඔහු ළමා අපයෝජකයෙක් ලෙස දැක්වූයේ එහි නිවැරදි වචනාර්ථයෙන් නොවන බවත් , “ළමා අපයෝජකයකු” ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බවට මාගේ සම්පූර්ණ සිහිබුද්ධියෙන් යුතුව පිළිගනිමි. ඒ අනුව, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගන්නා බව මා මෙයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිමි.
එකී ස්ටෝරියේ සඳහන් වුනු කරුණ හේතුවෙන් සංජය බණ්ඩාර මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිදුවූ අසීමිත පීඩාව වෙනුවෙන් මාගේ අවංක සහ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමි.
සංජය බණ්ඩාර මහතා මම හෝ මාගේ පවුලේ කිසිඳු හැඳුනුමක් නොමැති පූර්ණ ආගන්තුකයෙක් බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. මාගේත් මාගේ සැමියාගේත් පූර්ණ කාලීන වෘත්තීය වන්නේ කලාව සහ ලේඛණය වන අතර එයින් ලැබෙන ආදායම් ස්ථීර ඒවා නොවේ. මුල්ම වතාවට මෙසේ අප විසින් කෘතියක් ප්‍රකාශනය කළේ බැංකු ණය මුදලක් ලබාගෙන ය. ඔහු විසින් අපහාසයට හා හාස්‍යයට ලක් කර සමාජය තුළ සාවද්‍ය පූර්වනිගමනයක් මවා පෙන්වා අපකීර්තියට පත් කළේ එම කෘතියයි.
එමෙන්ම සංජය බණ්ඩාර මහතා වසර ගණනාවක් තිස්සේ මාගේ පවුලේ උදවිය ඔහුගේ දේශපාලන දැක්මට වඩා වෙනස් දේශපාලනික අදහස් දරන්නේ යැයි උපකල්පනය පදනම් කරගනිමින් විවිධාකාර ප්‍රකාශ අපගේ පින්තූර සහිතව සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් සිටින අතර, මෑතදී එවැනි පෝස්ටු තුනක් ඍජුව මාගේත් මාගේ සැමියාගේ, මාගේ පියාණන්ගේ නම් සහිතවද, අසැබි අරුතක් ගෙණෙන
ඉමෝජිය සහිතව සහ ව්‍යංගාර්ථයෙන් ද පළ කර තිබුණි. දශක ගණනාවක් තිස්සේ කලාවේ කීර්තියක් හිමි කරගෙන සිටින අපගේ පවුලේ සියල්ලන්ගේ කීර්ති නාමය පළුදු වන ලෙසට එසේ පළ කර තිබූ පෝස්ටු වලට දහස් ගණන් පුද්ගලයන් ප්‍රතිචාර දක්වා තිබූ අතර දෙසීයකට වැඩි පිරිසක් විසින් හුවමාරු කරගෙන (share) තිබුණි. මෙසේ පළ කළ පෝස්ටු පහළින්, විවිධ පුද්ගලයන්; මා සහ මගේ ස්වාමියා මෙන්ම මාගේ මියගිය පියාණන්, මාගේ වැන්දබු මව, සහෝදරයන් සහ මාස දහයක් වයසැති බිළිඳු දරුවා ද ඈඳාගනිමින්, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත සහ වෛරී ප්‍රකාශයන් කිරීමට වේදිකාවක් සකසා දුන් හේතුවට අසීමිත වේදනාවට සහ කණස්සල්ලට පත් වීමෙන් එකී ස්ටෝරිය පළ කළෙමි.
එය හුදෙක්ම මා විසින් මාගේ ස්වාධීන අදහසක් අනුව (සැමියා හෝ පවුලේ වෙනත් අයෙකුගේ අනුදැනුමකින් තොරව) පළ කළ එකක් බවත් ප්‍රකාශ කරන අතර මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ මා විසින් සිදු කරන ලද එම වැරදි ප්‍රකාශය නිවැරදි කිරීමේ හා එමගින් සංජය බණ්ඩාරගේ සහ මාගේ ඥාතීන් යන දෙපාර්ශවයටම සිදුවූ හානිය වෙනුවෙන් සමාව අයැදීමේ පරම චේතනාවෙනි.
ස්තූතියි.
මාධවී ඇන්තනි
2025.11.12














