ඉතාලියේ ස්ටෙල්වියෝ වනෝද්‍යානයේ විස්මිත සොයාගැනීම
වසර මිලියන ගණනාවකට පෙර මිහිමත රජකළ දැවැන්තයන්ගේ නිහඬ සාක්ෂි සොයාගැනීම සැමවිටම කුතුහලය දනවන කරුණකි. මෑතකදී ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) ජාතික වනෝද්‍යානයේ උස් කඳු මුදුනකදී අහම්බෙන් හමු වූ ඩයිනසෝර් පා සටහන් පෙළක් මුළු මහත් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව ඇත.
අහඹු සොයාගැනීමක්
පසුගිය සැප්තැම්බර් මාසයේදී කඳු තරණය කරමින් සිටි ඡායාරූප ශිල්පියෙකුට මෙම අසාමාන්‍ය සලකුණු දැකගත හැකි විය. මුලදී සාමාන්‍ය ගල් පර්වතයක් ලෙස පෙනුනද, පසුව විද්‍යාඥයන් විසින් සිදුකළ ගවේෂණයන්හිදී තහවුරු වූයේ මේවා වසර මිලියන 210කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් බවයි.
කවුද මේ “ප්‍රො-සෝර-පොඩ්ස්” (Prosauropods)?
විද්‍යාඥයන් පවසන පරිදි මෙම පා සටහන් අයත් වන්නේ ට්‍රයැසික් යුගයේ අවසාන භාගයේ ජීවත් වූ ප්‍රො-සෝර-පොඩ්ස් (Prosauropods) නම් සත්ත්ව කොට්ඨාසයටයි. මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණ කිහිපයකි:
පෙනුම: මීටර් 10ක් පමණ දිග සිරුරක්, ඉතා කුඩා හිසක් සහ දිගු බෙල්ලක් සහිතය.
ආහාර රටාව: මොවුන් ශාකභක්ෂක සතුන් වේ.
හැසිරීම: සාමාන්‍යයෙන් පසුපස පාද දෙකෙන් ඇවිද ගියද, අවශ්‍ය විටදී සතර ගාතයෙන්ද ගමන් කිරීමේ හැකියාව තිබූ බව සැලකේ.
විශ්මයජනක පැහැදිලි බව
මෙම පා සටහන්වල ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ ඒවායේ ඇති ඉහළ පැහැදිලි බවයි. සමහර පා සටහන් සෙන්ටිමීටර 40ක් පමණ විශාල වන අතර, ඩයිනසෝරයාගේ ඇඟිලි සලකුණු පමණක් නොව, ඔවුන්ගේ තියුණු නියපොතු සලකුණු පවා අදටත් ඉතා පැහැදිලිව ගලෙහි සටහන් වී තිබීම පුදුම සහගතය.
කඳු බිත්තියට හේත්තු වූ ඩයිනසෝර්ලා?
විද්‍යාඥයන් මෙම සොයාගැනීමේදී තවත් අපූරු උපකල්පනයක් ඉදිරිපත් කරයි. මෙම පා සටහන් හමුවී ඇත්තේ කඳු බිත්ති මතුපිටකය. ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ, මෙම සතුන් දිගු දුරක් ගමන් කර වෙහෙසට පත් වූ විට, සිය ඉදිරිපස පාද කඳු බිත්තියට තබා හේත්තු වී විවේක ගන්නට ඇති බවයි. අපට අද දකින්නට ලැබෙන්නේ එලෙස ඔවුන් හේත්තු වූ අවස්ථාවේ තැබූ සලකුණුය.
ඩයිනසෝර්වරුන් මිහිමතින් වඳ වී යාමට පෙර වසර මිලියන 160ක් පමණ කාලයක් මිහිතලයේ ආධිපත්‍යය පැතිරවූහ. දේශගුණික විපර්යාස හමුවේ හිම දියවී යාමත් සමඟ මෙවැනි ඓතිහාසික රහස් ලොවට නිරාවරණය වීම වැඩි වී තිබේ. ඉතාලියෙන් හමු වූ මෙම මතක සටහන, පෘථිවියේ අතීතය පිළිබඳ අප සතු දැනුම තවත් පුළුල් කිරීමට සමත් වනු නොඅනුමානය.















