පසුගියදා දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවේ රෞද්‍ර බව අවසන් වුවද, ගම්පොල දුනුකේඋල්ල මාර්ගයේ ඉහළගම ප්‍රදේශවාසීන්ට එය තවමත් නිම නොවූ බියකරු සිහිනයක්.
ධාරානිපාත වර්ෂාවත් සමඟ සිදුවූ නායයාමෙන් පසුව, එම ප්‍රදේශයේ සොහොන් පිටියේ තැන්පත් කර තිබූ මළ සිරුරු සහ මිනී පෙට්ටි ප්‍රධාන මාර්ගයට ගලා ඒමෙන් අද වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. .
මියගිය පසුව වුවද මිනිසෙකුට හිමිවිය යුතු අවසන් ගෞරවය පවා අහිමි වෙමින්, මළ සිරුරු මහා මාර්ගයේ විසිරී තිබීම අතිශය සංවේදී මෙන්ම කනගාටුදායක දසුනක්.
නිරාවරණය වූ මළ සිරුරු හේතුවෙන් ප්‍රදේශය පුරා පැතිර යන දුර්ගන්ධය සහ ඉන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳව ගම්වාසීන් පසුවන්නේ දැඩි භීතියකින්.
බලධාරීන්ගේ නිහඬයි.
පසුගිය 27 වැනිදා මෙම විපත වාර්තා වූ මොහොතේ සිට මේ දක්වා බලධාරීන් දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇතත්, මාසයක් ගතවන තුරු එම මළ සිරුරු නිසි පරිදි භූමදානය කිරීමට හෝ මාර්ගය විවෘත කිරීමට කිසිදු වගකිවයුතු ආයතනයක් මැදිහත් නොවීම ප්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතුවී තිබෙනවා.
ප්‍රදේශවාසියෙකුගේ වේදනාත්මක හඬක්
“අපේම නෑදෑ හිතමිතුරන්ගේ සිරුරු මේ විදිහට මහපාරේ දිරාපත්වෙනවා බලාගෙන ඉන්න එක අපිට දරාගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි, අපිත් මේ නිසා ලෙඩ වෙන්න පුළුවන්.”
ජීවත්ව සිටින ජනතාවගේ ආරක්ෂාවත්, මියගිය අයගේ ගෞරවයත් සුරැකෙන පරිදි වහාම ක්‍රියාත්මක වී මෙම තත්ත්වය සමනය කරන ලෙස දුනුකේඋල්ල වැසියෝ බලධාරීන්ගෙන් ආයාචනයක් කර තිබෙනවා.
ප්‍රදේශවාසී කාන්තාවක් වන ජයන්ති කුමාරි මහත්මිය මෙසේ පැවසුවේ “නාය යාමෙන් සොහොන් පිටියේ වල දමා තිබූ මළ සිරුරු සහිත පෙට්ටි හතරක් මතුව මාර්ගයට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට මේ ගැන දැනුම් දුන්නා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. අපි දැන් අසරණ වෙලා. කුණු වී මඩ මුසුව ඇති මේ මළ සිරුරුවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්.”














