ශ්‍රී ලංකාවේ වනජීවී උරුමයට මිනිසාගෙන් එල්ල වන බහුවිධ තර්ජනයන් යළිත් වරක් කඳුළු කතාවකින් සනිටුහන් වී තිබේ. සොබාදහමේ අසිරිමත් නිර්මාණයක් බඳු වූ ශ්‍රී ලංකා කොටියෙකු, 2026 නව වසරේ පළමු කොටි මරණය ලෙස වාර්තා වූයේ දෙල්ලව තැන්නහේන ප්‍රදේශයෙනි.
පසුගිය 07 වැනිදා දෙල්ලව ප්‍රදේශයේ තේ වත්තක අටවා තිබූ නීතිවිරෝධී මද්දකට හසුව මෙම සත්වයා මියගොස් සිටියදී හමු විය. පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන පරිදි, මියයන මොහොතේ එම සත්වයාගේ දෑස්වල සටහන්ව තිබූ මරණ බය සහ ජීවිතය යැදීම, මිනිසාගේ කුරිරුකම පිළිබඳ නිහඬ සාක්ෂියකි. මද්දකට හසුවන සත්වයෙකු ඉතා වේදනාකාරී ලෙස පැය ගණනාවක් මරණය සමඟ සටන් කර අවසානයේ ප්‍රාණය අත්හරියි.
වන රක්ෂිත ආසන්නයේ පවතින වගාබිම් සහ ජනාවාස මායිම්වල නීතිවිරෝධී ලෙස මදු ඇටවීම මේ වන විට ව්‍යසනයක් බවට පත්ව තිබේ. බොහෝ විට වෙනත් සතුන් දඩයම් කිරීම සඳහා අටවන මෙම මදු සඳහා, මෙරට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කොටින් වැනි දුර්ලභ සතුන් ගොදුරු වීම බරපතළ පාරිසරික ගැටලුවකි.














