ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන පීඩන අවපාතය සහ පවතින කාලගුණ තත්ත්වය නැවත යාවත්කාලින කර දැනුම් දී තිබෙනවා.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණික තත්ත්වයේ දැඩි වෙනස්කම් රැසක් අපේක්ෂා කෙරෙන බව පවසනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව, අද (08) පස්වරු 2 වන විට මෙම පද්ධතිය පොතුවිල් සිට කිලෝමීටර් 250ක් පමණ ගිනිකොන දෙසින් ස්ථානගතව පවතියි.
මෙම පීඩන අවපාතය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතීන අතර හෙට (09) දින පස්වරු 5.30 ත් රාත්‍රී 11.30 ත් අතර කාලය තුළ මෙය හම්බන්තොට සහ කල්මුණේ අතර වෙරළ තීරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට වැඩි ඉඩකඩක් පවතින බව පුරෝකථනය කර තිබෙනවා.
පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45 ත් අතර පවතින නමුත්, එය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකිය. මීට අමතරව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 දක්වා ඉහළ යා හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ අවදානමක් පවතී.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බවත් පවසනවා.
පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන, අද (08) සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.














