ලෝකයේ ධනවත්ම පුද්ගලයා මෙන්ම නව නිපැයුම්කරුවෙකු වන ඉලොන් මස්ක්, මෑතකදී සහභාගී වූ “Moonshots with Peter Diamandis” පෝඩ්කාස්ට් වැඩසටහනේදී අනාගතය සහ විශ්‍රාම දිවිය සඳහා මුදල් ඉතිරි කිරීම සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී අදහසක් ඉදිරිපත් කළේය. ඔහු පවසන්නේ ඉදිරි වසර 10 හෝ 20 තුළ විශ්‍රාම කාලය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම අනවශ්‍ය හෝ අදාළ නොවන දෙයක් බවට පත්විය හැකි බවයි.
මස්ක්ගේ මෙම තර්කයට මූලික වී ඇත්තේ කෘතිම බුද්ධිය (AI) බලශක්ති තාක්ෂණය සහ රොබෝ විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවයි. ඔහුට අනුව, අනාගතයේදී මෙම තාක්ෂණයන් මගින් ලෝකයේ නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමකට ගෙන එනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවා හිඟකම අවසන් වී, ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගත හැකි “සම්පත් බහුල” (Abundance) යුගයක් උදාවනු ඇත. එවැනි වටපිටාවක, රජයන් විසින් සියලු දෙනාටම “විශ්වීය ඉහළ ආදායමක්” (Universal High Income) ලබා දීමට හැකි වනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.
මස්ක් පෙන්වා දෙන්නේ ඉදිරි වසර පහ ඇතුළත වර්තමානයට වඩා දියුණු සෞඛ්‍ය පහසුකම් ලොව සැමට නොමිලේ හෝ ඉතා අඩු පිරිවැයකින් ලබාගත හැකි වනු ඇති බවයි. එමෙන්ම ඕනෑම විෂයයක් පිළිබඳ අධ්‍යාපනයක් නොමිලේ ලබාගැනීමේ හැකියාවද උදාවනු ඇත. සම්ප්‍රදායිකව මිනිසුන් විශ්‍රාම කාලය සඳහා මුදල් ඉතිරි කරන්නේ සෞඛ්‍ය පිරිවැය සහ ජීවන වියදම් පියවා ගැනීමට වුවද, මස්ක් පවසන මෙම “නිදහස් යුගය” තුළ එවැනි ඉතිරි කිරීම්වලින් පලක් නොවන බව ඔහු තර්ක කරයි.
කෙසේ වෙතත්, මෙම සුන්දර අනාගතය කරා යන ගමන එතරම් සුමට නොවන බවටද ඔහු අනතුරු අඟවයි. තාක්ෂණික විප්ලවයත් සමඟ සමාජය තුළ යම් අස්ථාවරත්වයක් ඇති විය හැකි අතර, වඩාත්ම බරපතල ගැටලුව වන්නේ මිනිසාගේ “ජීවන අරමුණ” අහිමි වීමයි. සියලු දේ පහසුවෙන් ලැබෙන විට සහ රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති වූ විට, මිනිසා තම ජීවිතය අර්ථවත් කර ගන්නේ කෙසේද යන්න විශාල අභියෝගයක් වනු ඇත.
පවතින යථාර්ථය සහ මස්ක්ගේ මතය
මස්ක්ගේ මෙම සුබවාදී අනාවැකිය වර්තමාන ලෝකයේ ආර්ථික යථාර්ථය සමඟ දැඩි ලෙස ගැටේ. ඉහළ යන උද්ධමනය සහ ජීවන වියදම හමුවේ බොහෝ මිනිසුන් අද වන විටත් තමන්ගේ විශ්‍රාම කාලය සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමට නොහැකිව පීඩා විඳිති. මස්ක් පවසන පරිදි විශ්‍රාම වැටුප් අරමුදල් “වැදගැම්මකට නැති” දෙයක් බවට පත්වන්නේද, නැතහොත් එය තවත් එක් මනෝරාජික සිහිනයක් පමණක් වන්නේද යන්න තීරණය වන්නේ ඉදිරි දශක කිහිපය තුළ තාක්ෂණය මානව වර්ගයා හසුරුවන ආකාරය අනුවය.














