තවමත් ඉරානයේ සිටින ඇමරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ පිහිටි අතථ්‍ය ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඉරානය පුරා විරෝධතා උත්සන්න වෙමින් පවතිනවා.
ඒවා ප්‍රචණ්ඩකාරී බවට පත්විය හැකි බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීම් සහ තුවාල සිදුවිය හැකියි.
මේ හේතුවෙනුයි වහාම ඉරානයෙන් පිටත් වන ලෙස දැනුම් දී ඇත්තේ.
ආරක්‍ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට හැකි බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
දැනටමත් දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මාර්ග වසා දැමීම්, පොදු ප්‍රවාහනයට බාධා කිරීම් සහ අන්තර්ජාල විසන්ධි කිරීම් ද වාර්තා වනවා.
මේ වන විටත් ඉරාන රජය ජංගම, ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධතිවලට ප්‍රවේශ වීම සීමා කර තිබෙනවා.
ගුවන් සමාගම් ඉරානය වෙත සහ ඉරානයෙන් පිටතට යන ගුවන් ගමන් සීමා කර හෝ නතර කර තිබෙන බව ද පැවසෙනවා.
ඉවත් වීමේදී ඇමරිකානු රජයේ සහාය මත පදනම් නොවන සැලසුමක් සකස් කර ගන්නා ලෙසත්, ඉවත් වීමට නොහැකි පිරිස් ආහාර, ජලය සහ ඖෂධ රැස් කරගෙන ආරක්ෂිත ගොඩනැගිල්ලක රැඳී සිටින ලෙසත් ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
තම දුරකථන ආරෝපණය කර තබා ගන්නා ලෙසත්, පවුලේ අයට සහ මිතුරන්ට තොරතුරු දැනුම් දෙන ලෙසත්, ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට ‘Smart Traveler Enrollment Program හි ලියාපදිංචි වන ලෙසත් ඇමරිකානුවන්ට පවසා තිබෙනවා.
ඉරානය ද්විත්ව පුරවැසිභාවය පිළි ගන්නේ නැහැ.
එමනිසා අමරිකානු-ඉරාන ද්විත්ව පුරවැසියන් ඉරාන විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් ඉරානයෙන් පිටවිය යුතුයි.
ඇමරිකාව සමඟ සම්බන්ධකම් පෙන්වීම ඉරාන බලධාරීන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් විය හැකියි.
ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ පකිස්ථාන-ඉරාන දේශසීමා ප්‍රදේශවල සංචාරය නොකළ යුතු බවත් එම දැනුම්දීමට ඇතුළත්.
දැනට ඇමරිකාව සහ ඉරානය අතර සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වෙන්නේ නැහැ.
එම නිසා ටෙහෙරානයේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා ඇමරිකානු අවශ්‍යතා සම්බන්ධ කටයුතු සිදු කරනවා.














